දඹුල්ල ප්‍රදේශයේ උසස් පාසලක සංගීත ගුරුවරයෙකු නොවැ 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර  ඉලංගසිංහ මහතා ඊයේ (31) පස්වරුවේ නියෝග කළේය.

එම විද්‍යාලයේ 6 වැනි වසරේ
අධ්‍යාපනය ලබන සිසුන්  දෙදෙනකු ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එම දෙමවිපියන් විසින් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර  ගුරුවරයා ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම ගුරුවරයා මෙම කුඩා පිරිමි ළමයින් දෙදෙනා අවස්ථා ගණනාවකදීම අපයෝජනයට ලක් කොට ඇතැයි එම දෙමව්පියන් පොලිසියට පැමිණිලි කළ බවත් පසුව දරුවන්ගේ ප්‍රකාශ සටහන් කර දරුවන් දඹුල්ල රෝහලේ අධිකරණ විද්‍යා නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමෙන් පසු සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතා පැවසීය.

මෙසේ බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පාසලක සංගීත විෂය ඉගැන්වීම සිදු කරමින් සිටි ගොකරැල්ලෙ, පන්ලියද්ද ප්‍රදේශයේ පදිංචි කේ.ඩී. නිමල් ජයතිස්ස නමැති අයකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)