එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරු මෙරටට පැමිණීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී පොලිස් ආඥා පනත සහ මංමාවත් පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලැබු
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ඇතුළු සැකකරුවන් 06කට එරෙහි නඩුව ලබන පෙබරවාරි 17 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුන්ද (04) තීරණය කළාය. මෙම නඩුවට අදාළ පාලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත සිටිමින් ඉකුත්දා (04) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාථ දී මේ කරුණු ඉදිරිපත් විය.

මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වූ සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය මහතා මැතිවරණ රාජකාරියේ නිරතව සිටින බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට
පොලිසිය කළ දැනුම් දීමට අනුව මෙම නඩු විභාගය කල් තැබිමට එහිදී අධිකරණය තීරණය කළේය. ඒ අනුව මෙම නඩුවේ පළමු සාක්ෂිකරුට මෙන්ම දෙවැනි සාක්ෂිකරු වූ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන අය වෙත සිතාසි නිකුත් කරමින් ලබන පෙබරවාරි මස 17 වැනිදා තෙක් නඩුව කල් තැබිමට අධිකරණයෙන් නියම විණි.

නිසි දැනුමකින් තොරව නාගරික ප්‍රදේශයක විරෝධතා පෙරහරක් පැවැත්විම, මහජනතාව සහ මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට අවහිරයක් සිදුකිරිම යන වරදවල් සිදුකරමින් පොලිස් ආඥා පනත මෙන්ම මං මාවත් පනත උල්ලංඝනය කළැයි චෝදනා දෙකක් යටතේ කුරුඳුවත්ත පොලිසිය චුදිතයින් හය දෙනා එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මස 15 වැනිදාය. එලෙස නඩු පැවරුණේ ජානික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියසිරි විජේනායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න යන අයටය.


2016 පෙබරවාරි මස 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ජාතික
නිදහස් පෙරමුණ නමැති දේශපාලන පක්ෂයේ නායකයන්ව සිටිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා මෙරටට පැමිණීමට විරෝධතා පා විරෝධතා පෙරහරක් සංවිධානය කර පොලිස් ආඥාපනතේ 77 (I) 77 (2) සිහ 74 (5) වගන්තිය ප්‍රකාර මෙන්ම 2007 අංක 40 දරන මංමාවත පනත ප්‍රකාරව චුදිතයින් වරදක් සිදුකර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය චුදිතයන් හය දෙනාට එරහිව එලෙස චෝදනා නගා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් නව දෙනෙකු සහ නඩු භාණ්ඩ තුනක් කුරුඳුවත්ත පොලිසිය නඩුව ඔප්පු කිරිම සඳහා අධිකරණය
වෙත ගොනු කර තිබිණි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරිමට ඉකුත් 2016 වසරේ මාර්තු 18 වැනිදා අධිකරණය මගින් තීරණය කර තිබිණ. මහජනයාට හිරිහැරයක් හා පීඩාවක් වන අයුරින් ප්‍රධාන මාළිගය අවහිර කර උද්ඝෝෂණයක් පවත්වමින් බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළැයි සදහන් කරමින් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානධිපති ප්‍ර.පො.ප. දෙල්ගහපිටිය මහතා විසින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2016 පෙබර‍වාරි මස 18 වැනිදාය.

-නිමන්ති රණසිංහ-