දින 52 ආණ්ඩුව සමයේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමක දී මිරිස් කුඩු ගැසීම, මන්ත්‍රීවරුන්ට සහ පොලිසියට පහරදීම මයික්‍රපෝන කඩා දැමීම, කතානායක පුටුවට හානි කිරිම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා කළ බව චෝදනා ලැබූ
මන්ත්‍රීවරු 54 දෙනා පිළිබඳව කඩිනම් විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ඉල්ලා සිටියහ.

බිමල් රත්නායක මහතා - පාර්ලිමේන්තුවට මිරිස් කුඩු  ගහපු අයට හෝ මයික් කඩපු අයට විරුද්ධව තවම නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

කතානායක කරු ජයසුරිය මහතා-
ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. නීතිපති ක්‍රියාමාර්ගයක් ගන්නවා කියා අපට දැනුම් දී තිබෙනවා.

බිමල් රත්නායක මහතා -
නීතිපතිතුමා ඒ ගැන කටයුතු කරන එක වෙනම එකක්. පාර්ලිමේන්තුවේ ඒ ගැන සොයා බැලීමට පත් කළ පරික්ෂණ කමිටුවේ වාර්තා අනුව නියෝජ්‍ය කතානායකතුමා  නිර්දේශ කළ වැරදිකරුවන් 54 දෙනෙක් ඉන්නවා. ඒ අනුව පාර්ලිමේතුවට ගත හැකි පියවර තිබෙනවා.

සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
පාරිලිමේන්තුවේ ඇති වූ ඒ සිද්ධිය අපි ඔක්කොම දැක්කා. ඒ චෝදනා ලැබූ 4 දෙනා ගැන ඉක්මන් පියවර ගන්න  ඕනෑ. නැත්නම් ජනතා විශ්වාසය නැති වෙනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා (කතානායකට)
ඔබතුමා මිරිස් කුඩු ප්‍රශ්නය නීතිපතිතුමාට ඉදිරිපත් කළ බව කිවා එතකොට විජිත හේරත් මන්ත්‍රීතුමාට පහරදීමේ සිද්ධිය ගැන බලන්නත් නීතිපතිතුමාගෙන්ම උපදෙස් එනකම් ඉන්න ඕනැද.

කතානායක -
පොලිසිය ඒ ගැන උපදෙස් දෙන්නේ.

මහාචාර්ය අංශු මාරසිංහ මහතා-
මෙම සිද්ධියට දැන් අවුරුද්දක් ගත වෙලා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරිමට කළ ඒ ප්‍රහාරය ගැන
ජනතාව අප්‍රසාදය පළ කළා. වැරදි කළ අයයි දඩුම් දිමට අවශ්‍ය අණ පනත් සම්මත කර ගත යුතුයි. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි මේක විශාල ප්‍රශ්නයක්.

කතානායක -
නියෝජ්‍ය කතානායකතුමා ඒ ගැන පියවර ගනියි.

අජිත් පී. පෙරේරා මහතා-
මෙතැන අපරාධ කටයුතු වරදක් මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ද වෙලා තියනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන ඉක්මනින් කටයුතු නොකිරීම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ ගැන අපි ප්‍රමුඛතාවය දිලා කටයුතු කරන්න ඕනා.

කතානායක -
සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා එම කමිටුවේ සභාපති හමුවී මේ ගැන ඉක්මන් පියවර ගන්නම්.

ගාමිණි ලොකුගේ මහතා -
ලබන 16 වැනිදා ජනතාව ඒ ගැන තීන්දුවක් දෙයි. එතකොට අපිට බලාගන්න පුලුවනි කවුද හරි කියලා.

ආනන්ද අලුත්ගමගේ මහතා-
මහජන ප්‍රශ්නයක් අහපුවාම ඇමැතිවරු උත්තර දෙන්නේ නැහැ. මහජනතාවට පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැහැ. දින 52 ආණ්ඩු කාලේ අපි ආයුධ ගෙනාවේ නැහැ. ආයුධ ගෙතත් කතානායක පුටුව ළග තියා ගෙන බරපතළ සිද්ධීන් ඇති කළේ මේවා ගැන කියන පාර්ශවයේ අයමයි.

අජිත් පී. පෙරේරා මහතා -
දින 52 ආණ්ඩුවේ ක්‍රියා කලාපය මේ 16 වැනිදා ජනතාවගේ විනිශ්චයට භාජනය වන බව ගාමිණි ලොකුගේ මහතා කියනවා. මිරිස් කුඩු ගහපු එක පුටුවලින් ගහපු එක බයිබලයෙන් ගහපු එක කතාතයක පුටුවේ වාඩි වෙලා ඒක කඩපු එක, මයික් කඩපු එක ආදී මේ දේවල් හරිද කියල මේ 16 වැනිදා ජනතාව තීන්දුව දෙයි.

බිමල් රත්නායක මහතා-
මිරිස් කුඩු ගහපු එක්කෙනෙක් පාර්ලිමේන්තු සභාපති ලේඛනයේ සිටිනවා කියල අප කළ දැනුම් දීම අනුව කතානායකතුමා ඒ නම ලේඛනයන් ඉවත් කිරීම ගැන
ස්තුතිය පළ කරනවා. එහෙම නොකළානම් අපට ලැජ්ඡයි. ඒ තැනැත්තා මුලසුනේ සිටියදී මේ සභාවේ ඉන්න.

-සුජිත් හේවාජුලියගේ-