රටේ ආරක්ෂාව සදහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛ බළ ඇණිය 300 දක්වා වැඩි කිරීමට පොලිසිය තීරණය කර ඇත.
ඒ අනුව පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් 100 ක් මහජනතාවගෙන් පරිත්‍යාග ලෙස ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මහජනතාවගෙන් පරිත්‍යාග ලෙස සුනඛයන් 100 ක් ලබාගැනීමට පොලිස්පතිවරයා අනුමැතිය පළකර ඇතැයි පැවසේ.

දැනට මහජනතාවගේ පරිත්‍යාග ලෙස සුනඛයන් 41 ක් ලබාගෙන සිටින අතර ඉදිරියේ දී තවත් නිල සුනඛයන් 59 ක් ලබා ගැනීමට නියමිතය. වයස මාස 12 ත් 18 ත් අතර පසුවන වර්ග පහක සුනඛයන් මෙලෙස තෝරාගැනේ.

මෙම සුනඛයකු පුහුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක පමණ මුදලක් වැය වන අතර අපරාධ විමර්ශන කටයුතු සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා එම සුනඛයන් යොදවනු ඇත.

ඉන්දියාවෙන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය මෙරටට හොර රහසේ ප්‍රවාහනය කෙරෙන නිසා යාපනය ගුවන් තොටුපළට යොදවන පොලිස් නිල සුනඛයන් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීමට නියමිතව තිබේ. දැනට එම ගුවන් තොටුපොළට පොලිස් නිල සුනඛයන් 04ක් යොදවා ඇත.

කන්ටේනර් පරීක්ෂාව සඳහා වරාය අධිකාරියට යොදවා තිබෙන පොලිස් නිල සුනඛයන් සංඛ්‍යාව ද 10 දක්වා වැඩි කරන බව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කියයි.

සුනඛයන් පරිත්‍යාග කිරීමට කැමැති අයට ඒ පිළිබඳව පොලිස් නිල සුනඛ කොට්ඨාසයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.


සාලිය කුමාර ගුණසේකර