උණ රෝග තත්වයන් වැලඳී දින 02ක් ඇතුළත ඩෙංගු NS1 පරික්ෂාව රජයේ රෝහලකින් සිදු කරගන්නා ලෙසට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙම පරික්ෂාව මගින් ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බවට පූර්ව හඳුනාගැනීමක් සිදු කළ හැකි බැවින් ප්‍රතිකාර ලබාදීම පහසු වන බවයි.

එසේම උණ රෝග තත්ත්වයක්
වැලඳී ඇති අවස්ථාවලදී පැරසිටමෝල් වර්ගයේ වේදනා නාශක ඖෂධ පමණක් භාවිත කරන ලෙසද ඒ මහතා සඳහන් කර සිටියි.

මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක  නිරත වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඩෙංගු NS1 පරික්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව (FBC)යන රුධිර පරීක්ෂණ සියලුම රජයේ රෝහල්වල දී නොමිලේ සිදු කරගත හැකි බවත්, එසේම ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ මේ වනවිට රෝහල්වලට ලබාදීමට කටයුතු කර ඇති බවත්ය.

විශේෂ ශඩංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 22 කේන්ද්‍ර කර ගනිමින් ඔක්තෝබර් 31 වැනිදා සිට ඊයේ (06දා) දක්වා ක්‍රියත්මක කිරීමට වසංගත රෝග විද්‍යා අංශයේ ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබූ අතර, එහිදී 60,000ක් පමණ පරික්ෂවට ලක්කර ඩෙංගු කීටයින් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 700 කට පමණ නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ. ඉන් බොහෝමයක් කර්මාන්ත ශාලා, ඉදිකිරීම් සිදු කරන වැඩබිම් සහ ආගමික ස්ථාන බවට හඳුනාගෙන ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටියි.

මීට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, මාතර,
ගාල්ල, වවුනියාව, නුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පළාත් වෛද්‍ය නිලධාරී කාර්යාල හරහ තවදුරටත් සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් 51,659ක් වාර්තා වී ඇති අතර, 2013 නොවැම්බර් මාසය වනවිට ඩෙංගු බවට සැකකෙරන රෝගීන් 64,290ක් රට තුළින් වසංගත රෝග විදහා ඒකකයට වාර්තා වී ඇත. ඒ අනුව ජනවාරි මස 5580 ක්ද, පෙබරවාරී මස 3736ක්ද, මාර්තු මස 3832ක්ද, අප්‍රේල් මස 2970ක්ද, මැයි මස 4260ක්ද, ජුනි මස 5996ක්ද, ජුලි
මස 8843ක්ද, අගෝස්තු මස 9461ක්ද, සැප්තැම්බර් මස 7195ක්ද, ඔක්තෝබර් මස 10505ක්ද, නොවැම්බර් මස මේ වනවිට 191 ක්ද වශයෙන් වාර්තා වී ඇත.මෙම වසරේ වැඩිම ඩෙංගු බවට සැක කෙරෙන  රෝගීන් වාර්තා වී ඇත්තේ මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය.

නිදර්ශනි වික්‍රමසිංහ