දෙහිවල, ගල්කිස්ස සහ මැද කොළඹ ප්‍රදේශයේ ඇතැම් ග්‍රාමසේවා කොට්ඨාසවල ඡන්දහිමි නාමලේඛනවලින් 
ඇතැම් ඡන්දදායකයන්ගේ නම් කපා හැර ඇතැයි පැමිණිලි 100ක් පමණ ඉදිරිපත්වෙමින් තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ලැබී ඇති පැමිණිලි සලකා බැලීමේදී මෙම ක්‍රියාවලිය සංවිධානාත්මකව ඡන්දහිමි නාමලේඛනවලින් නම් ඉවත්කර තිබේද යන්න පිළිබඳ ගැටලුවක් මතුව ඇති බවත්, මේ සම්බන්ධයක් තවදුරටත් කරුණු සොයාබලන බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවසීය.

ඡන්ද නාමලේඛනයේනමි කපා දමා ඇති බවට ලද පැමිණිලිවලින් පසු, මේ සම්බන්ධයෙන්
සියලු කරුණු සඳහන් කර තම මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සතාවට ලිපියක් යොමුකර ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.
පැමිණිලි කර ඇති පුද්ගලයන් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් ඡන්ද පත්‍රිකා පරීක්ෂා කර ඇති බවත්, එහිදී එම පත්‍රිකාවල සඳහන්ව තිබු තම නම් කපා දමා ඇති බව දුටු බවත් ඔවුන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට දැනුම්දී ඇත.
ඒ අනුව 2018 මුල ජන්දහිමි නාමලේඛන තිබුණු නම් මෙලෙස ඉවත්ව ඇති බවත්, එහෙයින් මෙවර ජනාධිපතිවරණයට ඔවුන්ට ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මංජුල ගජනායක මහතා පැවසීය.

බිම් මට්ටමේදී ඡන්දහිමි නාමලේඛනය. සංශෝධනයට දායක විය හැකි වන්නේ ග්‍රාම නිලධාරින්ට වන බැවින්, මෙලෙස නම් කපා දැමීමට කටයුතු කර ඇත්තේ ග්‍රාම නිලධාරීන් දැයි තමන්ට සැක පහළ වී ඇති බවට එම ජනතාව සඳහන් කළ බවත්, මෙලෙස නම් කපා ඇති පිරිස එකම දේශපාලන පක්‍ෂකයට සහාය දක්වන පිරිසක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සහ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය වාර්ෂිකව සිදු කෙරෙන අතර, එය සෑම වසරකම ජුලි මාසය වනවිට අවසන් කෙරේ. ඉන්පසුව තම නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත්ව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට කාලයක් ලබාදෙන අතර, එහිදී නම සඳහන් නොවේනම් මැතිවරණ කොමිසමට දැනුම්දීමට අවස්ථාව හිමිවේ. නමුත් මෙම පිරිස එම අවස්ථාවේදී එය පරීක්‍ෂා කර බලා නොමැති බවද මංජුල ගජනායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණය සඳහා යොදාගැනෙන්නේ 2018 වසරේ සඳහා වන ඡන්දහිමි නාමලේඛනයයි. මේ වනවිට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇති අතර, තමන්ට එම පත්‍රිකා නොලැබීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී තම නම් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත්කර ඇතැයි දැනගන්නට ලැබුණු බවද මෙම පුද්ගලයන් සඳහන් කර ඇත.
  -චාමර සම්පත්-