දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන් පහසුව සලසාගන්නා රාජ්‍ය සේවකයන්ට නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වී ඇතැයි රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මේ නිසා වාර ප්‍රවේශපත්‍ර මගින් හා සාමාන්‍ය ප්‍රවේශපත්‍ර මගින් දුම්රියෙන් ගමන්ගන්නා සියලුම රාජ්‍ය සේවකයන්ට පසුගිය 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සහන කාලයක් ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අද (03දා) දිනයේඉල්ලා සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්
කේ. තිලකරත්න මහතා සදහන් කළේය.

දුමිරිය ප්‍රමාද වීම හා දුම්රියන් නොමැතිවීම හේතුවෙන් බස් රථචලින් ගමන් පහසුව ලබාගැනීම නිසා නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වීමෙන් තම පෞද්ගලික නිවාඩු තිබෙන සේවකයන්ට පෞද්ගලික නිවාඩු දැමීමට සිදුව තිබෙන බවත්, මීට අමතරව අලුතින්ම රාජ්‍ය සේවයට එක් පරිසට වැටුප් රහිත නිවාඩු ඉල්ලීමට සිදුව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

වැටුප් රහිත නිවාඩු ලැබෙන රාජ්‍ය සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් වීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වන බවත්, මේ නිසා රජය  දුම්රිය සේවක ගැටලු විසඳා ගමන් පහසුකම් ලබානොදීම නිසා දුම්රිය වර්ජනයෙන් රාජ්‍ය සේවකයන්ට සිදුවන පාඩුව ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා රාජ්‍ය සේවකයන්ට අදාළ පහසුකම් ලබාදීමට කටයුතු නොකළහොත්, ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටියේය.


ඉන්දින සේවාවිතාරණ