ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශාඛා මාලදිවයිනේ පිහිටුවීම සඳහා කඩිනම් පියවර ගැනීමට නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති උමර් අයිදුල් රසාක් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යාලයේදී මෙම හමුව සිදු වී ඇත.

උසස් අධ්‍යාපනය සහ ජල සම්පාදන යනාදී  ක්ෂේත්‍රවල දෙරට අතර ඇති සහයෝගීතා වර්ධනය කිරීම් පිළිබඳ මෙහිදී සාකච්ඡාව පවත්වා ඇති අතර, විදෙස් රටවල ශිෂ්‍යයන් සදහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල ඉගෙනුම් ලබන අවස්ථාවන්
ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

වෛද්‍ය විද්‍යාව, නීතිය, ඉංජිනේරු, තාක්‍ෂණය යනාදී උපාධි පාඨමාලාවන් සදහා ගෙවීමේ පදනම මත මාලදිවයින් ශිෂ්‍යයන්ට ඇති අවකාශ කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී ඇති අතර, මාලදිවයින රජය ශ්‍රී ලංකා විශ්වවීද්‍යාල ශාඛාවක් එම රටේ පිහිටු වීමට වෙනම දූපතක් ලබාදීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මීට පෙර අත්සන් කර ඇතත්, මෙය නෛතික රාමුව තුළ පිහිටුවා ගැනීමට දෙරටේ  විද්වතුන් සහ නිලධාරීන් ඇතුළත් කමිටුවක් පත් කර ගැනීම සම්බන්ධව පියවර ගැනීමට මෙම අවස්ථාවේදී තීරණය කර ඇත.

තවද ජල සැපයීම සනීපාරක කටයුතු වැසි ජලය රැස් කිරීම සහ මුහුදු ජල පිරිපහදු කිරීම පිළිබඳ දැනුම හා අත්දැකීම් පිටරට අතර හුවමාරු කර ගැනීමටද මෙහිදී එකඟත්වය පළ කර තිබේ.

මෙම සාකච්ඡාවට උසස් අධ්‍යාපන අමාතශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන එල්. මංගලිකා, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ඩී.එස්. එම්. ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහුද සහභාගි වූහ.