රැකියාවකට යන මුවාවෙන් ජැංඩියට හැඳ පැළඳගෙන පැමිණ නිවාසවල කාමර කුලියට ගෙන නැවතී රන් භාණ්ඩ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන යන හොර කල්ලියක නායිකාවක බව කියන සැකකාරියක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

අමිතිරිගල ටුවිස්හෑන්ඩ්වත්ත පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ රම්‍යවති කුමාරිහාමි නමැත්තිය එසේ රිමාන්ඩ් කරනු ලැබුවාය.

ඌරාපොල සිරිසඟබෝමාවත දිනාපමුණුවේ නිවසක තිබූ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධියක් පිළිබඳව නිට්ටඹුව පොලිසිය
පරික්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. රැකියාවකට යන මුවාවෙන් සැකකාරිය හොඳට හැඳ  පැළඳගෙන එම නිවසට පැමිණ කාමරයක් කුලියට ගෙන නැවති එහි තිබූ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබූ බවත් එසේ  සොරාගෙන ගිය රන්භාණ්ඩ කොළඹ හෙට්ටිවීදියේ  වෙළඳපලකට විකුණා තිබියදී සොයාගත් බවත් නිට්ටඹුව පොලිසියේ පොලිස් සැරයන් එච්.ඇම්. රෝහණ (59973) මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සැකකාරිය හොර කල්ලියක නායිකාවක් බවට සැක කරන බවත් මෙවැනි සොරකම් නඩුවකට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් පවතින බව පොලිස්  සැරයන්වරයා කීය. මේ අයුරින් තවත් සොරකම් ගණනාවක් කර ඇති බවට සැක කරන හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යන බවද පොලිස් සැරයන්වරයා පැවසීය. නිට්ටඹුව පොලිස් සැරයන් එච්.ඇම්.රෝහණ මහතා පැමිණිල්ල මෙහෙයවිය.