ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුළ මුදාහැර තිබූ අසත්‍ය ප්‍රචාර 10ට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමට දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ඒ අනුව ෆේස්බුක් සමාගම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම අසත්‍ය ප්‍රචාර ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණ මැතිවරණ
ව්‍යාපාරයේ යෙදී සිටින බොහෝ අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර ඇති පුද්ගලයන්ද මේ යටතේ හඳුනාගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය වීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම සමග මැතිවරණ කොමිසම එකඟතාවට පැමිණ ඇති බවත්, ඒ අනුව මෙම අසත්‍ය ප්‍රචාර ඉවත් කර ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පතුරවනන් පිළිබඳ ජනතාවට මැතිවරණ කොමිෂන් සභාවය දැනුම් දිය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


- චාමර සම්පත්