රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකුගෙන් ප්‍රකාශයක් ලබා ගනිද්දී ඔහු පැන යෑම සම්බන්ධයෙන් රත්නපුර පොලිසියේ නිලධාරින් තිදෙනකුගේ
සේවය අත්හිටුවනු ලැබ තිබේ. පැනගොස් ඇත්තේ රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවෙකි.
සබරගමු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගයකට අනුව රත්නපුර පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේත් සේවය මෙලෙස අත්හිටුවනු ලැබ ඇත.

රත්නපුර නගරයේ රථවාහන රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීයකු සහ වාහනයක් පදවාගෙන ගිය අයකු අතර 26 වැනිදා ඇති වූ බහින්බස්වීමකින් පසුව පහරදිමක් සිදුවූ බව පවසමින් ඒ දෙදෙනාම රෝහල් ගතවී ඇත. වාහනය පදවාගෙන ගිය සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටිය දී වැසිකිළියට යන බව පවසා ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පැන යෑමේ සිද්ධිය පිළිබඳව පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව රත්නපුර පොලිස් අධිකාරී සුදත්  මාසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන මහතා පරීක්‍ෂණ පවත්වනු ලැබූ අතර එම පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නියෝගය අනුව පොලිස් නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇත. මේ අතර සැකකරුගෙන් පහර කෑ බව කියන පොලිස් නිලධාරියා රත්නපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලැබ පෙරේදා (27) පිටවී ගොස් ඇත.

-ලසන්ත නිරෝෂන් පෙරේරා-