පින්නවල අලි අනාථාගාරයේ සේවය කරන ඇත්ගොවකුව ඊයේ (7) භාණු නමැති අලියා පහරදිමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත..ඔහු කෑගල්ලේ පදිංචි කෝරළේ ගෙදර සාලිය කුමාර නමැති
36 හැවිරිදි ඇත්ගොව්වෙකි.කතරගම දේවාලයට අයත් මෙම අලියා බලපත්‍ර නොමැතිව රඳවාගෙන සිටින බවට වනජීවී දෙපාර්තමෙන්තුව මඟින් ගත් අධිකරණ නියෝගයක් මත 2017 වසරේදී ඔවුන් භාරයට ගෙන තිබුණි.

පසුව පින්නවල අලි අනාථාගාරයේ මෙම අලියා රඳවා තැබිමට ඔවුන්
කටයුතු කර නිබුණි.වසර දෙකකට ආසන්න කාලයක් රඳවා සිටි මෙම භාණු නමැති අලියා හම්බන්තොට සෆාරි ආයතනය වෙත ඊයේ (7) ලොරියකින් රැගෙන යාමට බලධාරින් කටයුතු කර තිබුණි. අලියා බැඳ තිබු ලණු ගැලවීමට සුදානම් වූ  අවස්ථාවේදී අලියා මෙතෙක් කල් රැක බලාගෙන සිටි පින්නවල අලි අනාථාගාරයේ සේවකයාට හොඬවැලෙන් පහරදී තිබුණි.

පසුව සේවකයා බිමට වැටී ඇති අතර ඉන් අනතුරුව ද ඇන තිබුණි. එම අවස්ථාවේ අලි අනාථාගාරයේ පශු
වෛද්‍යවරයා ළඟ සිට ඇති අතර පසුව තුවාල ලැබු ඇත්ගොව්වා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබුණා.  රඹුක්කන රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර එවා තිබුණි. පසුව කළ වෙද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ තුවාලකරුගේ අස්ථි බිඳීම් කිසිවක් සිදුව නොමැති බවත් තත්ත්වය බරපතළ නොවන බවත්ය.

තුවාලලත් ඇත්ගොව්වා  වසර දහයක පමණ කාලයක සිට පින්නවල අලි අනාථාගාරයේ සේවය කරන අතර තුවාලකරුගේ කොන්ද හා දකුණු කකුල රිදෙන බව වෛද්‍යවරුන්ට දන්වා තිබුණි.


-චමින්ද වැවතැන්න-