ඇල්පිටියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරක කටයුතුවල යෙදුණු ජංගම ප්‍රචාරක රථයක් ඊයේ (7) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදැයි ඇල්පිටිය මැතිවරණ
පැමිණිලි මධ්‍යස්ථානය පවසයි. වැටලීම කරන ලද අවස්ථාවේදි ජංගම ප්‍රචාරක රථයේ රියැදුරු පැන ගොස් තිබූ අතර එහි සිටි දෙදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක අජිත්
ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැස්වීම් කිහිපයක් සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක කටයුතුවල යෙදුණු ජංගම ප්‍රචාරක රථයකැයි කියති. මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේ සහකාර තේරීම් බාර නිලධාරි සුමේධ චන්ද්‍රජිත් මහතා ඇතුළු කණ්ඩායමක් පොලිසියේ ද සහාය ඇතිව මෙම වැටලීම කළේය.

ජංගම ප්‍රචාරක රථයේ පැන ගිය රියැදුරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුන් දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරගෙන යයි. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මෙලෙස ප්‍රසිද්ධියේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම මැතිවරණ නීතියට පාටහැනි ක්‍රියාවකැයි මැතිවරණ නිලධාරීහු පවසති.


-සුජිත් හේවාජුලියගේ-