https://www.gossiplankanews.com/2019/10/nisansala-murder-gampola.html
සුගිය දිනවල ආන්දෝලනයකට ලක්ව අතුරුදන්ව සිටි ගම්පොළ පාසල් ගුරුවරියගේ නිසල සිරුර මහවැලි ගඟේ කිලෝ මීටර් හතළිහක් පමණ ගසාගෙන ගොස් වික්ටෝරියා ජලාශයේ රැඳී තිබියදී ඊයේ සොයා ගනු ලැබුවා.
ඉදිමී දුර්වර්ණවී තිබුණ සිරුරේ රැදී තිබුණ ඇය අවසන් වරට ඇද සිටි හැට්ටය සහ
අතේ බැදි සිටියායයි කියන පිරිත් නූලක් ඇසුරින්  ඊයේ (08 වැනිදා) උදෑසන දෙමාපියන් හා ඥාතීන් ඒ සිරුර මියගිය නිසංසලා රත්නායකගේ බවට තහවුරු කරනු ලැබුවා.
ඉතාමත් අවාසනාවන්ත ලෙස වයස 27දී ජීවිතය හැර ගිය නිසංසලා මෙම ඔක්තෝබර් 29 වනදා විවාහ වන්නට සිටියේ පොලිස් නිලධාරියෙකු සමගිනි.


ඇගේ විවාහයේ කටයුතු සූදානම් කර ඇති අතරවාරයේ ඇයට මින් පෙර පැවති බව කියන පෙම් පළ හිළව්වක් නිසා ඇය මෙලෙස ඝාතනය වූවාද යන්න ගැන සැකයක් මේ ගැන පරීක්ෂණ සිදු කරන පොලිසියට හෝඩුවාවන් ලැබී තිබේ.

ශ්‍රීපාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි නිසංසලා වර්තමානයේ විවාහ වන්නට සිටි පොලිස් පෙම්වතාට පෙර හදුනාගෙන තිබූ පෙම්වතෙකු සිටි බවත් ඇයත් ඔහුත් අතර ඇතිවූ නොගැළපීම් ගැටලු හේතුවෙන් ඔහුගෙන් ඉවත්වීමට ඇය කටයුතු කර තිබූ බවත් හෙළිව ඇත. එම ඉවත්වීම සිදුව ඇත්තේ මින් වසර 5 කට පමණ ඉහතදීය. එහෙත් පසුගිය කාලය පුරාම වරින්වර ඔහු ඇය නැවත හිමිකරගන්නට මාන බලමින් කරදර කරන ලද බව නිසංසලාගේ පියා පොලිසියට සාක්ෂි දෙමින් පවසා ඇත.
මේ කියන පෙම්වතාට ඇයගේ අලුත් විවාහ සූදානම සැලවීමෙන් පසු පසුගිය දිනවල ඇයට තර්ජන කර තිබූ බවද වාර්තාවී තිබේ.

මේ නිසා ඇගේ මරණය ඝාතනයක් විය හැකි බවට සැක පහළවී තිබේ.
පාසල නිමවී පසුගිය 01 වැනි දින නිවස කරා එමින් සිටියදී නිවස ආසන්නයේදීම මෙසේ අතුරුදන්ව සිටියේ ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි ගුරුවරියයි.
ඇය පවුලේ වැඩිමලා වූ අතර පාසල් යන වයසේ සොයුරෙකුද ඇයට සිටි බව කියැවේ.

ඇය හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. පාසලේ සිට කිලෝ මීටර් හැටක් පමණ දුර ගෙවා නිවසට එමින් සිටියදී නිවසට මීටර් සියයක් පමණ ආසන්නයේදී ඇය මෙසේ අතුරුදන් විය.
නිවස ආසන්නයේ ඇති අධ්‍යාපන ආයතනයක සී.සී.ටී.වී. කැමරාවේ

ඇය පැමිණෙන අයුරු සටහන්ව තිබීමෙන් මේ බව තහවුරු විය.

ඇය මෙලෙස පැමිණ ඇත්තේ වර්ෂාව සහිත දිනයක වූ බැවින් ගම්වාසීහු හා පොලිසිය එක්ව ඇය ගමන් ගත් මාර්ගයේ කානු හා කැලෑ රොදවල්ද පරීක්ෂා කරන ලද මුත් කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත.  මීට දින හතරක් තිස්සේම මහවැලි ගඟ දිගේ කාන්තා මළසිරුරක් ගසාගෙන යන බවට තොරතුරු ලැබී පසුව එම සිරුර පොල්ගොල්ල ජලාශයෙන් පහළට වැටුණු බවටද තොරතුරු ලැබී පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් පසු එම කාන්තා මළසිරුර වික්ටෝරියා ජලාශය හා මහවැලි ගඟ යාවන ස්ථානයේ රැඳී ඇති බවට ලද තොරතුරට අනුව පොලිසිය ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගොඩගත් අතර ඊයේ හදුනාගැනීම සිදු විය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ දිසා විනිසුරු ශ්‍රිනිත් විජේසේකර වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සිරුරේ මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පරීක්ෂණ කටයුතු අරඹන බව ගම්පොළ පොලිසිය සඳහන් කරයි.