ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (7 වැනිදා) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත් වූ අතර ඊයේ (8 වැනිදා) ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටීමට තීරණය කර ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර ඇති බව අනාවරණය වේ.

 අද (9 වැනිදා) පෙරවරුවේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් දින කිහිපයක් කල්ගතවනු ඇත. සන්ධාන ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (8 වැනිදා) ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සන්ධාන ගිවිසුමේ පවතින ගැටලු පිළිබඳ මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇත.

පක්ෂ දෙක සන්ධානගත වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බවත්, ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර  ඇති බවත් අනාවරණය වේ.