ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වූ සිසු සිසුවියන් 98 දෙනකු අතරින් 60 දෙනකු සමත් වී ඇති බව
විද්‍යාලයේ විදුහල්පති ඩබලිව්.එම්. වරුණ බණ්ඩාර මහතා  පැවැසීය. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සාධන මට්ටම ඉහළම ප්‍රතිඵල සහිත විද්‍යාල අට අතරට 2007 වසරේ සිට මේ දක්වා සෑම වර්ෂයකම තම විද්‍යාලය පැමිණ තිබුන බව විදුහල්පතිවරයා කීය.
‍ෙ
2007 වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් "ස්ටනුයින්" වර්ගීකරණයට අනුව ප්‍රථම ස්ථාන දිනාගත් පාසල ලෙසත් 2017 සහ 2013 වර්ෂයන්හි දිවයිනේ දෙවැනි ස්ථාන හිමිකර ගත් පාසල ලෙසත් නම් කර ඇත. මේ වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 200න් ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වූ ගල්ගමුව මහගල්කඩවල අදිෂ නෙතුමි හේරත් සිසුවා ද මෙම පාසලේම ශිෂ්‍යයකු විම පාසලට මෙම ප්‍රදේශයට ද විශාල කීර්තියක් ගෙන දුන් බව ද විදුහල්පතිවරයා පැවැසීය. ඒ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ  ගල්ගමුව සිර්මාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදනාලය විදුහල්පති ඩබ්ලිව්.එම්. වරුණ බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.

"2007 වර්ෂයේ සිට මේ දක්වා ලංකාවේ ප්‍රතිඵල අතින් ඉහළින්ම තිබෙන පාසල් 8 අතර අපේ පාසලත් තිබෙනවා. මේ සාර්ථකත්වයට හේතුව අපේ ගුරු මණ්ඩලය මවුපියන් දරුවන් ආදී ඒ සෑම දෙනාම ඉතාම කැපවීමෙන් කටයුතු කිරීමයි.  දරුවන්ගේ දැනුම, උනන්දුව, කැපවීම ආදී සෑම දෙයම වැඩි කිරීම සඳහා පාසල් කාලය තුළදිත් පාසල් කාලයෙන් පසුවත් විවිධ වැඩමුළු, රාත්‍රී කඳවුරු හා විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා.

පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණීය දක්වාම ඉගැන්වීම් කටයුතු කරන ගුරු මහත්ම මහත්මින් ඉතාම කැපවීමෙන් පාසල් කාලය තුළදිත් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට හොඳින් ඉගැන්වීම් කටයුතු කරනවා. මා දකින ආකාරයට විදුහල ලබා තිබෙන මෙම ජයග්‍රහණ සියල්ලම අප සියලු දෙනාගේම සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.

මෙම පාසල බිහි කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතා සහ වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ  මහත්ත්වරුන් වෙත මා විශේෂ ස්තුතියක් පළ කරනවා.” යැයි විදුහල්පතිවරයා සඳහන් කළේය.

-මනෝජ් හර්ෂික-