ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ආනයනය කරන ලද ආරක්ෂක රථ දෙකක් වෙනුවෙන් සුඛෝපභෝගී බද්ද ගෙවීමට රුපියල් දස කෝටි දස ලක්ෂයක මුදලක් අතිරේක ප්‍රතිපාදන වශයෙන් ලබා
ගැනීමට ඉදිරිපත් කෙරුණු පරිපුරක ඇස්තමේන්තුවට පාරිලිමේන්තුවේ අනුමැතිය ඊයේ (8) ලැබිණි.

මෙයට අමතරව ජනාධිපතිවරයාගේ ආරක්‍ෂික කටයුතු සඳහා ගමන් කථන යන්ත්‍ර 20 ක් මිලදී ගැනීමට රුපියල් හැට දෙලක්ෂ අනු අට දහසක මුදලක් ද ඊයේ අනුමත කෙරිණි.  ආරක්ෂක අමාත්‍යාංශය සඳහා මූලධන වශයෙන් මෙම මුදල් වෙන් කෙරෙන බව එම පරිපූරක ඇස්තමේන්තු ලියවිල්ලේ සඳහන් වෙයි.

මේ අතර රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යතුරු පැදි 40 ක් මිලදී ගැනීමට
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක මුදලක්ද කැබ් රථ 25 ක් මිලදී ගැනීමට රුපියල් කෝටි නවයක මුදලක්ද අධිකරණ හා බන්ධනාගාර ඇමැතිවරියගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් විසි ලක්ෂයක මුදලක්ද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර ඇත.

මෙයට අමතරව මියගිය හා තුවාල ලැබූ සෙබළුන් සඳහා  වන්දි ගෙවිම සඳහා රුපියල් විසි කෝටි අනූහය ලක්ෂයක  මුදලක්ද දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීම සඳහා රුපියල් දොළොස් කෝටි හතළිස් අට ලක්ෂ හැට දහසක මුදලක්ද අල්ලස් කොමිසමට අලුතින් බඳවා ගන්නා ලද නිලධාරින්ට අන්තර් දීමනාව ගෙවීම සඳහා රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක මුදලක්ද වෙන් කර ඇත.

තවද හානි පූර්ණය සඳහා වන කාර්යාලය වෙනුවෙන් රුපියල් දසකෝටි විසි ලක්ෂයක මුදලක්ද වෙන් කර ඇතැයි එහි සඳහන් වෙයි.  පරිපුරක ඇස්තමේන්තුව මගින් ලබා ගැනෙන සම්පූර්ණ මුදල රුපියල් කෝටි 2141 කට අධිකය.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.

-සුජිත් හේවාජුලිගේ-