නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකවරයා, මහලේකම්වරයා සහ උපනායකවරයා සහභාගි නො වූ බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විවිධ අසත්‍ය තොරතුරු
සමාජගත කිරීමේ වෑයමක නිරත වන බවත්,එම උත්සාහය පිළිකුලෙන් යුතුව බැහැර කරන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
නාමයෝජනා භාරදීම සඳහා සහභාගි වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ
ලේකම්වරයා, නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බවට මැතිවරණ නීතියේ සදහන් බව පෙන්වාදෙන මහලේකම්වරයා, ඒ අනුව පෙරේදා (07දා) පැවැති නාමයෝජනා භාරදීමේ අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා, නීතිඥවරයා සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බවද
සඳහන් කර සිටියි.මහලේකම්වරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර, පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතයට වඩා එය වෙනස්, ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී බවයි,
මාධය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අමාත්‍යවරයා එමගින් මෙසේ පවසයි."නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන්, මහලේකම්වරයා සහ උපනායකතුමන් සහභාගි නොවූ බව සඳහන් කරමින් විවිධ තොරතුරු සමාජගත කරමින් අවලාදාත්මක දේශපාලනයක නිරත වීමේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමේ වෑයම පිළිකුලෙන් යුතුව බැහැර කරමි.
නාමයෝජනා භාරදීම සඳහා සහභාගි වීමට අවසර ඇත්තේ අදාළ පාර්ශවයේ ලේකම්වරයා, නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයෙකු හොදින් දන්නා කරුණකි. ඒ අනුව නාමයෝජනා භාරදීමේ අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධුර අපේක්ෂික  පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.
තත්වය එසේ පැහැදිලි ව තිබීය දී එය නොදන්නවා සේ වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උපනායකයා ඊට සමිබන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අදබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදුකරන අර්ථ විරහිත ප්‍රකාශ රාප්ප කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර, පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතයට වඩා එය වෙනස්, ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවක් බව නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමි,

ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කළ ඒකාධිපති පාලනයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවන් එකට එක් වූ සියලු බලවේග සමග එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ඒ බලවේගයන් කැපවී සිටින බවද බංකොලොත් විපක්ෂයට සිහිපත් කරමි."

නිදර්ශනී වික්‍රමසිංහ