කන්තලේ අධ්‍යාපන කලාපයට ගෞරවයක් ලබා දෙමින් අන්තර්ජාතික මටිටමේ රන් පදක්කමක් ලබාගැනීමට පසුගියදා නව නිපැයුම් තරගයකින් පාසල් සිසුවෙක් සමත් විය.
කන්තලේ අග්බෝපුර බටුකච්චිය ප්‍රදේශයේ ජන්මය ලබා කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ ද්විතියික අධ්‍යාපනය සදහා කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන චතුර මධුමාල් නම් සිසුවා මෙසේ අත්තර්ජාතික රන් පදක්කමකින් පිදුම් ලැබීය.

ඇවිදින විට බැටරි ආරෝපණය වන උපකරණයක් (Working charger) චතුර මධුමාල් සිසුවා නිපදචා තිබුණි.

මෙම උපකරණයට කැනඩාවේ පැවැති 1 -can-2019 ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී රන් පදක්කම හිමි වූ අතර, එම ජාත්‍යන්තර තරගයේදී වීවෘත අංශයට නව නිපැයුම් අංශයෙන් තරග වැදුණු එකම පාසල් සිසුවා වන්නේ චතුර මධුමාල් වීම විශේෂත්වයකි.

මෙහි එක් කනගාටුව කරුණක් වන්නේ තමන් දිනූ රන් පදක්කම ලබාගැනීමට කැනඩාවේ පිහිටි ටොරොන්ටෝ වෙත යෑමට තිබූ අවස්ථාව අහිමි වන්නේ දුප්පත්කම නිසාය.

චතුර මධුමාල් සිසුවා සිය කටහඬ අවදිකරමින් මෙසේ පැවසීය.
"ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණේ ටොරොන්ටෝවල. ඒකට රජයෙන් ලක්ෂ දෙකක් දෙනවා. ඒක ලැබෙන්නේ අපි වියදම් කරලා ටිකට් විසා හදාගත්තාට පසුවයි. තාත්තා වැලි ගොඩදාන රැකියාව කරනවා. මේ සඳහා යම් මුදල් වියදමින් කිරීම හීනයක්. පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේස්කාර මහතා මාව කැනඩා තානාපති කාර්යාලයට අරන් ගිහින් ටිකට් වීසා අරන් දෙන්න මහන්සි වුණා. මූල්‍යමය ගැටලු මතුවුණා. ගමන මට යන්න බැරි වුණා.

ලංකාවෙන් මේ උත්සවයට හත්දෙනෙක් තේරී පත්වී තිබුණා. අනෙත් හයදෙනා ඒ ගමන ගියා. මට ඒ ගමන අහිමි වුණා. අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේස්කර මහතා ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක් අනුව ඒ රන් පදක්කම හා සහතිකය මෙරටට ගෙනැවිත් දීමට කටයුතු කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ පහක් ලබා දුන්නා"

චතුර මධුමාල් හා චම්පික මධුමාල් නිවුන් සොහොයුරන්ය. චම්පික මධුමාල්ද නව නිපැයුම් ක්‍ෂේත්‍රයෙන් දක්ෂතා දක්වයි. ඔහු ඉදිරියට යෑමට නොහැකිවී පෞද්ගලික ආයතනයක සේවය කරයි.


ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව