හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියක් ඉන් ඉදිරියට යැම තමන් විසින් නතර කළ බවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සදහා එක්වෙමින් කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා (18) මාධ්‍ය හමුවක් කැඳවමිනි,

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කර තමන් එය වැළැක්වූ බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ. මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ විජයදාස රාජපක්ෂ මහතා, “ආරක්ෂක ලේකම් වුණ ගෝඨාභය රාජපක්ෂ  මහතා අත්අඩංගුවට ගැනීමේ ලිපියක් නීතිපති දෙපාර්තුමේන්තුව ට නිකුත් කළා. ඒක එතනින් එහාට යාම මම නතර කළා. ඇවන්ට් ගාඩ් නැව සමිබන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් කළාට පස්සේ අවසාන මොහොතේ අපේ පැත්තට ආපු ඇමැතිවරයෙකුගේ ගෙදර ඉදගෙනයි ලියුම හදන්නේ,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගිනිඅවි පනත. පුපුරන ද්‍රව්‍ය පනත යටතෙයි මේ අත්අඩංගුවට ගැනීම කරන්න හදන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් හත් දෙනෙක් අත්අඩංගුවට ගන්නයි උත්සාහ කළේ. එදා හවස ලිපිගොනුව නීතිපති  දෙපාර්තුමේන්තුව ට ඇවිත් තිබුණා. නීතිපතිතුමා දන්නේ නැහැ එවැනි ලියුමක් නිකුත් කළ බව. සුහද ගමිලත් මහතා අපරාධ අංශය භාරව හිටියත් එතුමා දන්නෙත් නැහැ එවැනි ලියුමක් ගැන කොහොමද මෙහෙම ලියුමක් එන්නේ. රාජිත සේනාරත්නගේ

ගෙදර හදපු ලියුම නීතිපති  සොලිසිටර්වරයකුගේ අත්සනින් තමයි ආවේ. කොහොමද එහෙම වෙන්නේ. මේ ගැන කතා කරපුවාම ආණ්ඩු විරෝධීයෙක් ලෙසයි මාව හැදින්වුයේ. ත්‍රස්තවාදය වැළැක්වීම් පනත යටතේ රට ලේ විලක් කරපු ප්‍රභාකරව එක පැයකට අත්අඩංගුවට ගන්න බැරි වුණා.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය නතර කරන පූර්ණ දායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න හැදුවා. මම මේ ගැන ජනාධිපති, අගමැති එක්ක කතා කරලයි මේක නතර කළේ. රාජිත සේනස්නාරත්න, රාජපක්ෂ ජනාධිපතිතුමා හොරකම් කරපු සල්ලි ඇහැටම දැක බව කියනවා. තාත්තා කියනකොට අප්පගේ පුතත් කියනවා තාත්තා විතරක් නෙවෙයි මමත් දැක්කා කියලා.

අධිකරණ ඇමති විදියට තියෙන තැන කියන්න අල්ලාගෙන එන්නෙම් කියලා මම කිවිවා. අවසානයේ ජේ.සී. වැලිඅමුණායි, අල්ලස් ජෙනරාල්වරියයි ජනාධිපතිට බල කරලා ඩුබායි රාජ්‍ය නායකයාට ලියුමක් දුන්නා හොරකම් කරපු මුදල් ගැන සදහන් කරලා. ඒ ලියුම බලපු ඩුබායි රටේ රාජ්‍ය නායකයා උඹලාගේ ආණ්ඩුවට පිස්සුද කියලා අහලා එවලා තිබුණා” යැයිද කීය.

නිඳර්ශනී වික්‍රමසිංහ