https://www.gossiplankanews.com/2019/10/gampola-teacher-missing-mahaweli-river-nisansala.html
සුගියදා පාසල් සේවය නිමවී නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේදීම අතුරුදන්ව ඇති තරුණ පාසල් ගුරුවරිය පිළිබඳව ඊයේ (06දා) වනවිට දින 06ක් ගතවූ තැන
ඇයගේ සිරුර විය හැකි බවට සැකකරන කාන්තා මළ සිරුරක් ගැන හෝඩුවාවක් ලැබීමෙන් ඇගේ ඥාතීන් එය හදුනාගැනීමට උත්සාහ දරා තිබේ.

මහනුවර ප්‍රදේශයේ සිට වත්තේගම දෙසට මහවැලි ග‍ඟේ ගසාගෙන ගොස් තිබෙන මෙම අඩනිරුවත් කාන්තා මළ සිරුර පාසල් ගුරුවරියගේ බවට ඇගේ ඥාතීන් සැකකර තිබේ.


මේ ආකාර සිරුරක් ගඟ දිගේ ගසාගෙන යන බවට පොලිසියට ලැබුණ තොරතුරු මත ගම්පොළ පොලිසිය ඒ සම්බන්ධයෙන් කටුගස්තොට කුණ්ඩසාලේ වත්තේගම හා තෙල්දෙණිය පොලිසි දැනුවත් කර තිබෙන අතර මෙම සිරුර නත්තරම්පත වේවැල්ල හරහා පොල්ගොල්ල ජලාශයට ගසාගෙන ගොස් ඇති බවත් පසුව වේල්ලෙන් පහළට වැටී වත්තේගම හරහා වික්ටෝරියා ජලාශයට ගසාගෙන යමින් පවතින බවත් හදුනාගෙන තිබේ.

අතුරුදන් ගුරුවරිය වන නිසංසලා රත්නායක (27) ගුරුවරියගේ ඥාතීන් මෙම තොරතුරු අනුව අදාළ මළ සිරුර සොයා ගමන් කර තිබේ.

අද සිරුර ගොඩගැනීමේ කටයුතු පොලිසියේ මෙහෙයවීමෙන් සිදු කරන බවද වාර්තාවේ. අතුරුදන්වූ ගුරුවරිය ගැන මේ දක්වා කිසිම වෙනත් හෝඩුවාවක් ලැබී නැති නිසා මෙම සිරුර ගැන විශාල කුතුහලයකින් පසුවන බව ඥාතීන් දන්වා තිබේ.
ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දිමා නිසංසලා  ගුරුවරිය මෙසේ අතුරුදන්ව තිබුනේ පාසල් නිමවී නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවකය.

හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන ඇය පසුගිය 01දා පාසල නිමවී සවස නිවසට එමින් සිටියදී නිවස අසලදී අතුරුදන්ව තිබූ අතර මමීටර සියයකට එහා සීසීටීවී කැමරාවක ඇය එනු පෙනී තිබියදී ඇය නිවස අසළදීම කිසියම් අභිරහස් සිදුවීමක් මත අතුරුදන්ව තිබුණි.
ගම්පොල පොලීසියේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සමග විවාහ ගිවිසගෙන සිටි මෙම ගුරුවරිය මෙම මස 29දා ඔවුන්ගේ නම් ලියාපදිංචියටද යොදාගෙන තිබූ පසුබිමක ඊට සති කිහිපයකට පෙර මෙසේ අතුරුදන්ව තිබුණි.