පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ආදී ස්ථාන  නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසදීමකින් හා කිසිදු පීඩනයකින් තොරව
ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිසු දරුවන් විභාගවලදී පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රවලට සපයන පිළිතුරුවලින් ලබන ප්‍රතිඵල මත පමණක් ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව තක්සේරු කිරීම තමන්
අනුමත නොකරන බවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයින් ප්‍රථම, දෙවැනි, තෙවැනි යනාදී ස්ථාන  නම් නොකිරීමට ගනු ලැබූ තීරණය පරීදි මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින අනවශ්‍ය තරගකාරීත්වය මත දරුවන්ට අහිමි වන ළමා කාලය නැවතත් ඔවුන්ට ලබාදීමට ගනු ලැබූ මෙම තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
පාසලක සියලුම දරුවන්ට සමානව සැලකිය යුතු වුවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ කිහිප දෙනෙකු පමණක් ප්‍රදර්ශනාත්මකව අගය කිරීම මෙතෙක් සිදු වූ බවත්, අනෙක් සිසුන් අපහසුතාවට පත් කරන එම සම්ප්‍රදාය  වෙනස් කිරීම සඳහා ගත් මෙම තීරණය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ  මවුපියන්ට, ගුරුවරුන්ට අස්වැසිල්ලක් වූ බවත් හෙතෙම පවසයි.

දරුවන්ට නිදහසේ සිය අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා සලසාදීම සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන පෙළ විභාගයේ සමත් අසමත්භාවය නොසලකා සිය නිපුණතාව හා කැමැත්ත පරිදි අඛණ්ඩ අධ්‍යපනයක් ලබාදීම (13වසරක සහතික කළ අධ්‍යාපනය) වැනි විප්ලවීය වැඩසටහනක් දැඩි කැපවීමකින්
ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වසර 11 ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කිරීමටත්, එයින් විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් 250කට ශිෂ්‍යධාර ලබාදීම අනිවාර්ය කිරීම සහ මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රු 750 දක්වා ඉහළ දැමීමටත් පියවර ගෙන තිබෙන බවත්, ශිෂ්‍යාධාර මුදල් ප්‍රමාදයකින් තොරව Online ක්‍රමයට සිසුන්ට ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බවත් හෙතෙම කියා සිටියේය.