https://www.gossiplankanews.com/2019/10/gampola-school-teacher-missing-cctv.html
පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටි තරුණ ගුරුවරියක්‌ නිවසට මීටර් 100 ක්‌ පමණ තිබියදී අතුරුදන්වීමේ සිදුවීමක් ගම්පොළින් වාර්තාවී තිබේ,
ගම්පොල කිරපනේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි මෙම ගුරුවරිය පොලිස් නිලධාරියෙකු හා විවාහ ගිවිසගෙන සිටින්නියක වන අතර දැනට මව සමග නිවසේ පදිංචිව සිටින්නීය. ඇය සේවය කරමින් සිට ඇත්තේ
හැටන් ශ්‍රී පාද විද්‍යාලයේය. එහි ඉංග්‍රීසි භාෂාව උගන්වමින් සිට ඇත. කිරපනේ ඇගේ නිවසේ සිට කිලෝමීටර 60 ක් පමණ දුර ගෙවා හැමදා පාසලට යන ඇය නැවත පාසල් ඇරී තවත් ගුරුවරියක සමග පිටත්ව නිවසට එන බවත් එම ගුරුවරිය සමග ගම්පොළට පැමිණ බසයෙන් බැස පසුව තනිව පා ගමනින් ඇය තම නිවස වෙත ඒම සිදු කර තිබේ.
සිද්ධිය වූ දිනයේද ඇය පාසලින් පිටත්ව එම ගුරුවරිය සමග පැමිණ ඇති අතර ඇගේ පැමිණිම නිවසට මීටර සියයකට ආසන්නයේ පිහිටි ඉගෙනුම නමැති ටියුෂන් පන්ති සීසීටීවී කැමරාවලද සටහන්වී ඇත.
නමුත් ඇය ඉන්පසුව නිවසට පැමිණ නැත.


පසුගිය පළමු වැනිදා එසේ පාසල නිමවී නිවසට එමින් සිටියදී සවස 4.00 න් පසු මෙසේ අතුරුදන්ව ඇත.
 මෙම තරුණ ගුරුවරිය උපාධිධාරිනියක්‌ වන අතර ඇය ශ්‍රී පාද විද්‍යාලයේ 6 වසර පංතිය භාර ගුරුවරිය වූවාය. ඉංග්‍රීසි විෂය පිළිබඳ හසළ දැනුමක්‌ ඇති ඇය පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වා තිබේ.
 නිවසට ආසන්නයේ ඇති ඉගෙනුම උසස්‌ අධ්‍යාපන ආයතනයේ සීසීටීවී කැමරා දර්ශනවල ඇයගේ ගමන සටහන්ව ඇත්තේ සවස 4.06 ටය. ඒ වනවිට වර්ෂාවද ආරම්භ වී තිබී ඇති අතර ඇය කුඩයක්‌ ද රැගෙන එම ස්‌ථානයෙන් පිටව යන අයුරු ඉතා පැහැදිලිව දක්‌නට තිබේ.

 චන්දිමාගේ මව වන චන්ද්‍රා ජයවීර මහත්මිය එම සිද්ධිය මෙසේ විස්‌තර කළාය.

' මගේ දුව ගම්පොල පොලිසියේ පොලිස්‌ නිලධාරියෙක්‌ සමග විවාහ ගිවිස ගෙන ඉන්නේ. එයා හැමදාම ඉස්‌කෝලේ ඉවර වෙලා 4.30 විතර වෙන කොට නිවසට එනවා.
 පළමුවැනිදා එයා හවස 6 වෙනතුරුත් ගෙදරට ආවේ නැති නිසා අපි පාසලේ විදුහල්පතිතුමාට කතා කරලා ඇහුවා ඉස්‌කෝලේ රැස්‌වීමක්‌වත් තියෙනවා ද කියලා. විදුහල්පතිතුමා කීවා වෙනදා වේලාවට එයා පාසලෙන් ආවා කියලා.
 දුවගේ දුරකතනය වැඩ කළෙත් නෑ. අපි මේ ගැන හොයලා බලන කොට අනෙක්‌ ටීචර්ලාගෙන් දැන ගත්තා එයා ගම්පොල බස්‌ නැවතුම්පළෙන් බැස්‌සා කියලා.
ඊට පස්‌සේ අපි ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ කැමරා පරීක්‍ෂා කරන කොට එයා නිවසට එන බව තහවුරු වුණා. ගමේ අයයි පොලිසියයි දුව හෙව්වා තාම ආරංචියක්‌ නෑ. කවුරු හරි එයා පැහැර ගත්තද කියලත් අපට සැකයක්‌ තියෙනවා. වැස්‌ස තිබුණු නිසා ගමේ අයයි පොලිසියයි ඇළවල් කාණුවලත් හෙව්වා. කවුරු හරි එයා ගැන තොරතුරක්‌ දන්නවා නම් අපට හරි පොලිසියට හරි දැනුම් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.'