සංචාරක හෝටල් සහ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කොටුව පොලිස් ස්ථානාධිපති නමින් යවන ලද ලිපිය සම්බන්ධව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත විශේෂ විමර්ශනයක් අරඹා ඇත. බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති
වාතාවරණයක මෙම ලිපිය ​යොමු කර ඇති බැවින්
එම ලිපිය යැවූ නිලධාරීන් යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමට එම ලිපිය යොමු කළාද යන්න ගැනත් මෙම විමර්ශනයෙන් සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පෙරේදා (2 වැනිදා) රාත්‍රියේ කොළඹ තරුපහේ හෝටල් හයක් ඇතුළු හෝටල් දහයකට නවාතැන් ගන්නා දෙස් විදෙස් පුද්ගලයන්ගේ තොරතුරු දෛනිකව ලබාදෙන ලෙසද කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරිය කුමාර විසින් සකස් කරන ලද ලිපියක් ඒවායේ ආරක්ෂක කළමනාකරුවන් වෙත යොමු කර තිබිණි. පැය කිහිපයක් ඇතුළත පොලිස් මූලස්ථානයේ නියෝග මත එම ලිපි නැවත එකතු කරගෙන ඇත.

පාස්කු ප්‍රහාරය ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් රටේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කොට සිදුකිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ඇති බවත් එම ප්‍රහාරකයන්ගේ තොරතුරු ශ්‍රීලංකා පොලිසිය සතුව ඇති බවත් මෙම ලිපියෙන් දන්වා යවා ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා