පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ නිසි අවසරයකින් තොරව ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් පනස් දහසක දඩයක් නියම කළේය.

ගාල්ල ක්ලිපස් පාරේ
පදිංචිකාරියකට මෙසේ දඩ නියම කෙරිණි.

විත්තිකාරිය ගාලු කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ කඩ කාමරයක් අවුරුදු 15කට බදුගෙන සිටියදී එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යන පඩිපෙළ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර කොමසාජ් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව

ගාල්ල පොලීසියේ පුරාවිද්‍යා ඒකකය විසින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ ඇය කිසිදු පුරාවස්තුවකට හානියක් කර නොමැති අතර ඉහළ මහලේ පිහිටි ධර්ම ශාලාවට යන පඩි පෙළ අලූත්වැඩියා කර ඇති බවය. එය ඉතා සද්භාවයෙන් කර ඇති බවද නීතිඥවරු කියා සිටියහ.

ගාල්ල පොලීසියේ පුරාවස්තු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගලප්පත්ති මහතා පැමිණිල්ල මෙහෙයවන ලද අතර විත්තිකාරිය වෙනුවෙන් ප්‍රදීප් මදනායක, ඒ.පී. ජී.සරස්චන්ද්‍ර, වේරහැර අවන්ති, තරංගා හැන්නදි යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

රවිදු දියගහගේ / ජිනේෂ් නානායක්කාර