බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 07 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කළේ ය.

එලෙස කල් තැබුණේ
මෙතෙක් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙනි.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991ක් සාවද්‍ය හා සාපරාධී පරිහරණය ඇතුළු අධි චෝදනා යටතේ මේ නඩුව පවරා තිබේ.

අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ලබන මස 07 වැනිදා යළි පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.

නඩුව පවරා ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන්ට එරෙහිව ය.