ජාතික කණ්ඩායමෙන් අවස්ථාවක් ලැබෙන තෙක් තමන් වසර දහයක් බලා සිටි බවත්, ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වූ බවත් භානුක රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි
විස්සයි 20 තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ලාහෝර් ගඩාෆි ක්‍රීඩංගණයේ පෙරේදා (O7දා) පැවති මෙම තරගයෙන් ලකුණු 35ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් භානුක රාජපක්ෂ, පන්දු 48කට මුහුණ ද‍ෙමින් අගනා ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය. ඔහු සිය ඉනිමට අලංකාර හයේ පහර 06ක් හා හතරේ පහර 04ක් එක් කිරීමටද අමතක නොකළේය. මෙම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සමිමානයද භානුකට හිමි විය.


කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ භානුක, දේශීය තරග බිමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වුවත්, ඔහුට ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හැකිවූයේ මෙම විස්සයි 20 තරගාවලිය හරහාය. වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක රාජපක්ෂ, "ජාත්‍යන්තර වරම් දිනාගන්න මට වසර දහයක් ඉන්න වුණ. නමුත් මම හිතනවා මට සුදුසු අවස්ථාවේදී මේ තැන ලැබුණේ කියලා. මේ වැඩේට එන්න පාසල් අවදියේ ඉඳන් ගොඩක් දෙනෙක් මට උදව් කළා. අලුතෙන් ආව ක්‍රීඩකයකු ලෙස මමත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ තරගාවලිය ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. අපි මේ තරගාචලිය වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලංකාවේදිත් පුහුණුවීම් කළා.අංක තුන ක්‍රීඩා කරන්න තමයි මම පාසල් අවදියේ ඉඳන් පුරුදුවෙලා හිටියේ. අසන්ත ද මෙල් (තේරීම් කමිටු සභාපති) මහතා මට විස්සයි 20 කැප් එක දෙනකොටත් කිවිවේ මගේ සාමාන්‍ය පිතිහරඹයෙන් ක්‍රීඩා කරන්න කියලයි. රමේෂ් (ශ්‍රී ලංකා වැඩබලන ප්‍රධාන පුහුණුකරු) සර් කිවිවෙත් මට දන්න විදියට ගහන්න කියලයි.
ඔවුන් මගෙන් ඇහුවේ මගේ වගකීමක් මොකක්ද කියලයි. මට ඕන වෙලා තිබුණේ ' වැඩියෙන් පිතිකරණයේ යෙදෙන්න. මොකද නවකයෙක් විදියට ලේසි නැහැ එක පාරටම ගිහිල්ලා ගහන්න. පළමු තරගයේ, පළමු පන්දු දෙක තුන ගහද්දි මම ටිකක් පීඩනයෙන් ගියා. නමුත් ලකුණු රැස් කරන්න පටන් ගත්තට පස්සේ මට ඒක ලෙහෙසි වුණා." යැයි පැවසීය.
පාකිස්තානය මේ වන විට ජාත්‍යන්තරය විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පසුවන කණ්ඩායම වන අතර, ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 08 වැනි ස්ථානයේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මේ වන විට තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටින්නේ තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි. ශ්‍රී
ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරහිව ලැබූ පළමු විස්සයි20 තරගාවලිය ජයග්‍රහණයද මෙයයි.එයද පාකිස්තානු තරග බිමේදීම අත් කර ගත් ජග්‍රහණයක් වීම සුවිශේෂී වෙයි.
ලැබූ ජයග්‍රහණය පිළිබදවද භානුක මෙසේ අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකාව හා පාකිස්තානය කියන්නේ වෙනස්ම කණ්ඩායම් දෙකක්. අපි ලංකාවේ දෙවැනි පළ කණ්ඩායම වගේ. ජ්‍යාන්තරයෙන් පැවසුවෙත් අපි දෙවැනි පෙළ කණ්ඩායමක් කියලා. එවැනි තත්ත්වයක ඉදලා විශාල අත්දැකීමක් සහිත ලොව අටක එක් කණ්ඩායම පරාජය කිරීමට ලැබීම ගැන සමස්ත කණ්ඩායමක් වශයෙන්, මුළු රටක් වශයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. සමස්ත කණ්ඩායම මේ ජයග්‍රහණයට දායක වුණා. 

විශේෂයෙන් පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ලොකු අත්දැකීමක්, නමුත් පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමේදී අපිට පීඩනය අඩුයි. මොකද පාකිස්තානයට අවශ්‍ය හැම වෙලින්ම ජය ගන්නෙ. නමුත් අපට නැතිවන දෙයක් නැහැ. අපි කරපු වෙනස්කම තමයි පිටිය මැදට ගිහින් හොදින් ක්‍රීඩා කිරීම. කණ්ඩායමක් වශයෙන්, ලංකාවටත් ගෞරවයක් වන ලෙස මේ වනවිට තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන තියෙනවා. ධනුෂ්ක ගුණතිලැකත් කිව්වා වගේ අපි දෙවැනි තරගයෙන් තමයි තරගාවලිය. දිනන්න සැලසුම් කළේ. තුන්වැනි තරගයත් අපි කොහොමහරි දිනන්න බලාපොරොත්තු වෙනවා".
ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් වීම ලැබුණු  අවස්ථාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක පවසා සිටියේ තේරීම් කමිටුවේ විශ්වාසය දිනාගෙන විස්සයි 20 තරගවලට මෙන්ම එක්දින හා ටෙස්ට් තරගද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.
"කාලයක් තිබුණා මට කණ්ඩායම් ඇතුළට එන්න අමාරු. නොයෙකුත් දේවල් කිව්වා. මම පෞද්ගලිකව ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මට අවස්ථාව ලැඛෙනකමි මම අවුරුදු දහයක් තිස්සේ බලාගෙන හිටියා. අවස්ථාව ලැබුණට පස්සේ මම උපරීම ප්‍රයෝජනය ගත්තා කියලා හිතනවා. පිතිකරණය දියුණු කරගන්න කියලා මම වීශේෂයෙන් පුහුවුණේ නැහැ. වෙනදා ක්‍රීඩා කරන්න විදියට ක්‍රීඩා කළේ. පාසල් කාලයේ ඉඳන් මේ දක්වා මම ක්‍රීඩා කළේ මේ විදියට. මම අංශ තුනෙම ක්‍රීඩා කරන්න කැමතියි. නමුත් ඉදිරියේදීත් දක්වන දක්‍ෂතා අනුවට ඒක තීරණය කරන්නේ තේරීම් කමිටුව. දැන් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී මම හොඳින් දක්‍ෂතා දැක්වූවා. මම හිතනවා මම හොඳ ආරම්භයක් ලබාගත්තා කියලා” යැයි පැවසීය.
 -විශ්ව මුදියන්සේ-