https://www.gossiplankanews.com/2019/10/baghdadi-death-isis-successor.html#more
සුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමද භාරගත් අයිඑස් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකානු හමුදා මෙහෙයුමකදී මියගිය බව ඊයේ වාර්තා විය.
ඇමරිකානු ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට පැවසුවේ වයඹදිග සිරියාවේ සිදු කළ හමුදා ක්‍රියාන්විතයකින් මෙම ඝාතනය සිදු කළ බවයි.පසුගිය සෙනසුරාදා මෙම මෙහෙයුම සිදුකර තිබුණි.බග්දාදි සැගව සිට ඇති නිවස පිළිබඳ ඔත්තුව ලද පසු ඇමරිකානු හමුදාව
පැයකුත් මිනිත්තු 10 ක මෙම මෙහෙයුම සැලසුම් කර තිබුණි. ජනපති ට්‍රම්ප් උප ජනපති මයික් පෙන්ස් දෙදෙනම ධවල මන්දිරයේ සිටුවේශන් රූමි හිදී දුරස්ථ වීඩියෝ දර්ශන බලා සිටියදී මෙය ක්‍රියාත්මක වූ බවද පැවසිණි. මෙහෙයුම සදහා හෙලිකොප්ටර 8 ක් උපයෝගී වි ඇත. ඒ සඳහා  ගුවන් යානා සහ ඩ්‍රෝනද උපයෝගි කිරගත් අතර

පාබල හමුදාව සුනඛයින් කණ්ඩායමකගේ සහායෙන් මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබුණි.මෙහෙයුම දියත්ව ඇති ගුවන් අවකාශය රුසියානු පාලනය යටතේ පැවති එකක් බවද කියැවිණි. බග්දාදි වාසය කළ මහල් නිවසට හෙලි කොප්ටර මගින් ප්‍රහාර  එල්ලවෙද්දී නිවෙසේ ආරක්ෂකයින් හෙලිකොප්ටර වෙත ප්‍රතිප්‍රහාර යොමු කළ බව පැවසේ.
මේ අතරවාරයේ හෙළිකොප්ටරවලින් බැස  ගොඩබිමින් ක්‍රියාත්මකවූ හමුදාව සුනඛයින් සමග බග්දාදි වාසය කළ නිවසට ඇතුළුවීමට උත්සාහ දරා ඇත්තේ ඒ් වනවිට ප්‍රතිප්‍රහාර එල්ල කළ බග්දාදිගේ ආරක්ෂකයින් වැඩිමණක් මියයාමෙන් පසුය. නිවසේ ප්‍රධාන ගේට්ටුව මගහැර තාප්පයක් මැදින් කඩාගෙන නිවසට ඇතුළුවෙන්නට හමුදාව සූක්ෂ්ම වූ අතර සුනඛයින් සමග හමුදාව එහි ඇතුළුවී තිබේ.

නිවසේ ආරක්ෂාව පිණිස පොළව යට අභ්‍යන්තර උමගක් තිබී ඇති අතර දරුවන් සමග බග්දාදි ඒ් තුළට වැදී සැගවන්නට ගොස් ඇති බව සුනඛ ඉව ඔස්සේ හමුදාව හදුනාගෙන තිබුණි.
ඇමරිකානු හමුදාවට අයත් සුනඛයන් බග්දාදී පසුපස එළවා යන විට පිටවීමේ දොරටුවක් නොමැති උමගක් තුළට ඔහු දිව ගොස් ඉන් අනතුරුව මරණයට පත් වූ බව  27 ඉරිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
දුවගෙන යන අතර ඔහු ඇඬු බවත්, දිහටම කෑ ගැසු බවත්  ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.
එම අවස්ථාවේ බග්දාදී සිය දරුවන් තිදෙනෙකු සමග සිටි බවත් එහිදී ඔහු තමන් ඇඟලා සිටි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන සියදිවි නසාගත් බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.
මෙම සිද්ධියෙන් දරුවන් තිදෙනා ද මියගොස් තිබේ.

 ප්‍රහාර වලින් පසු බග්දාදිගේ නිවස මුළුමණින් සමතලා විය.
මෙම ක්‍රියාන්විතයේදී කිසිදු ඇමෙරිකානු හමුදා භටයෙකු මරණයට පත් නොවූ බවත් එක්සුනඛයෙකු පමණක් සුළු තුවාල ලද බවත් ට්‍රම්ප් හෙළිකළේය.
මෙම මෙහෙයුම ගැන ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම මගින් මුලින්ම දන්වා සිටියේ 'අතිශය වැදගත් දෙයක් දැන් සිදුවෙමින් තිබෙනවා' යනුවෙනි.

වාර්තාවන ආකාරයට බග්දාදි හැංගී සිටි ස්ථානය ගැන නිවැරදි ඔත්තුව කුර්දිස්තාන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලෑණිය ඇමරිකානු හමුදාවට සපයා තිබේ.
බග්දාදි මියගිය බවට මින් ඉහත අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා පළවූ නමුත් ඒ්වා සත්‍ය ඒ්වා නොවූ අතර පසුගිය මැයි මාසයෙහි ඔහු වීඩියෝවකින් පෙනී සිටිමින් කතාවක්ද කළේය.

බග්දාදීගේ සත්‍ය නම ඊබ්‍රහිම් අව්වාඩ් ඊබ්‍රහිම් අල්-බද්රි ලෙස සැලකේ. ඔහු ලොව අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙස ද හැඳින්විණි.ඉරාකයේ සහ සිරියාවේ භූමි ප්‍රදේශ කිහිපයක වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිට වූ බවට ප්‍රකාශ කරමින් අල්-බග්දාදි 2014 දී කරළියට පිවිසි අතර මෙම ජිහාඩ් සංවිධානය ඔවුන් යටතේ පාලනය වන පෙදෙස්වල වෙසෙන මිලියන අටක පමණ ජනතාව දැඩි නීති රීති යටතේ පාලනය කරයි.
බග්දාදි 1971 දී උතුරු ඉරාකයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇත. 2003 දී ඇමෙරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වන විට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.
ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු සිර කඳවුරක අල්ඛයීදා සාමාජිකයන් සමඟ වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.
මොහු ඉරාකයේ අල්ඛයීදා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද සමග ඊට එක්විය.
2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී "ත්‍රස්තවාදියෙකු" බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.