දේශපාලන ත්‍රස්තවාදයෙන් බැටකන මේ ජනතාව මුදාගැනීම තම එකම අරමුණ යැයි ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ දී ඉකුත්දා (24) පැවසිය. දේශපාලනයේ සිට ජනතාව ගිලගැනීමට බලා සිටින මකරුන් සහ කොල්ලකාරයන්ගෙන්
රට බේරාගත යුතු අවස්ථාව උදාවී ඇති බව පැවසු හිටපු යුද හමුදාපතිවරයා විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා, සියල්ලන්ටම බලපාන එක පොදු නීතියක් රට තුළ ක්‍රියාත්මත කළ යුතුව ඇතැයි ද කීය.

ඒ මහතා එසේ පැවසුවේ ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම වෙනුවෙන්
කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඇති උත්සවය අමතමිනි. එහිදී ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා මේසේ ද කිය. පසුගිය දිනවල ජනාධිපතිවරණ කටයුතු කරන අතරතුර බළංගොඩ දී අසනීප වී මා එහි රජයේ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලැබ ටික දිනකින් පිටව ආවා. එම සිදුවීමට මා නොසිතු විශේෂ ප්‍රසිද්ධියක් ලැබුනා.

මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස බෙහෙත් ගත්තේ රජයේ රෝහලකින් මිස වෙනත් තැන්වලින් නොවෙයි. මේ රටේ ජනතාව වසර ගණනාවක සිට පීඩනයට, සූරාකෑමට ලක්ව සිටිනවා.
දේශපාලකයන්ගෙන් සිදුවන මේ විනාශයෙන් රට බේරා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරයාගේ බලතලවල අඩුවක් සිදුව නැහැ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා රජයේ මෙන්ම විධායකයේත් ප්‍රධානිය. සන්නාහ සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා එහෙම නම් ඔහුට කරන්න බැරි මොකක්ද මේ බලතල තිබීයදීත් ඇතැම් අය කටයුතු කළේ නැහැ. අපි ඉදිරිපත් වන්නේ ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදියටයි. දේශපාලකයෙක් ලෙස ජනතාවට සේවය කිරීමටයි පැමිණෙන්නේ.

එක රටක්, ඒක නීතියක්, එක දැයක් යන්න මෙම ප්‍රතිපත්ති ප්‍රකශයේ එන ප්‍රධානම කරුණයි. අප රටේ ප්‍රධානම ගැටලුක් වන්නේ ජනාධිපති, අගමැති, ඇමැතිවරු නීතියට උඩින් සිටිමයි. එය දුෂණ වංචා වැඩිවීමට හේතුව එයයි. එය නැවැත්විය හැක්කේ මා වැනි නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි. පක්‍ෂයක් තිබුන නම් පක්‍ෂයේ අයගේ වංචා දුෂණ වහන්න සිදුවෙනවා. රටට වග වන පාලන ක්‍රමයක් ඇති කළ යුතුයි.

ගෞරවණීය රාජ්‍ය සේවයක්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව එකට ජීවත් වීය හැකි පරිසරයක්, විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. එමෙන්ම රට නැවත වැගිරීමක් නොවන ආකාරයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. නැවත මේ රටේ මිනිසුන් අවි ආයුධ අතට නොගෙන සහජීවනයෙන් ජීවත් වන පරිසරයක් හා යහපත් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. පක්‍ෂය දේශපාලනය නිසා රට තුළ නැවත නැවත අභ්‍යන්තරික ගැටලු ඇතිවෙනවා. ජාතික ධනය හොරකම් කරන විට රට එන්න එන්න
දිළිඳු වෙනවා.

මෙය දුපත් වූ රටක් නොව දුප්පත් කළ රටක්. රට මේ සියල්ලෙන් බේරාගැනීම් අපේ අරමුණක්. දේශපාලනයේ සිටී අපව ගිලගන්න බලා සිටින මකරුන්, මංකොල්ල කාරයින්ගෙන් රට බේරාගත යුතුයි. සියලු
දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. සියලු ජනතාවට සාධාරණයක් වීය යුතුයි. විනයත් ඇති දේශපාලන සංස්කෘතියක් ඇතිකළ යුතුයි. වත්මන් දේශපාලන ක්‍රමය මා සටන් කළ ත්‍රස්තවාදීන්ටත් වඩා දරුණුයි. අපි ඒ ත්‍රස්තවාදය පරාජය කළා. නමුත් මෙවර එන්නේ ආයුධයකින් මෙල්ල කළ නොහැකි සතුරන්.

ඔවුන් මෙල්ල කළ හැක්කේ නොවැම්බර් 16 වැනිදා ඡන්දයෙන් පමණයි. සෑම ත්‍රස්තවාදයක්ම ඇති කරන්නේ මෙම ත්‍රස්තවාදියායි. දේශපාලන ත්‍රස්තවාදියා විනාශ නොකළොත් අපට ඉදිරි කාලයෙත් හුල්ලමින් සිටින්නට වේවි .මම ජනාධිපති වු වහම ඇමැති මණ්ඩලය 20ට අඩු කරනවා. එතැනින් කවුරුත් දැන ගනියි ජනාධිපතිට කොන්දක් තියනවා කියලා. ඒ තීරණය අරගෙන පෙන්නුවට පස්සේ දේශපාලන ත්‍රස්තවාදියා පරාජය කිරීමේ පළමු අවස්ථාවට අපි එළඹෙනවා.

සුදුසු පළපුරුදු දක්‍ෂ ලේකම්වරුන් පත් කිරිමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාටයි. ඒය කරන්නේ අපයි.
අධ්‍යාපන විප්ලවයක් කළ යුතුයි. අප රටේ අධ්‍යාපන ක්‍රමය සකස් කර තිබෙන්නේ වැඩි දෙනකු විභාග අසමත් කිරීමයි. ධීවර කර්මාන්තයි,  තේ වගාව දියුණු කළ යුතු ආකාරය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වනවා. තාරුණ්‍යයට ඉඩ දෙන රටේ සංවර්ධනය ඔවුන් දායක කර ගන්නා සැටිත් කාන්තා අභිවෘද්ධියක් ඇති කරන අයුරුත් අප සදහන් කර තියෙනෙවා. ගුරු වෘත්තියට දෙන ප්‍රමුඛත්වය, පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම ගැනත් අපගේ ප්‍රතිපත්ති මාලාවේ සදහන් කර තියෙනවා.

අවසාන වශයෙන් ජනතාවට කොන්ද කෙළින් තියාගෙන අභිමානවත් ශ්‍රී ලාංකිකයත් ලෙස මේ රට තුළ ජීවත් විය හැකි වැඩපිළිවෙළක් අපගේ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කර තිබෙනවා යැයි සේනානායක මහතා කීය. මෙහේදී පක්‍ෂයේ සභාපති හිටපු විගණනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පිළිගැනීමේ කතාව කළ අතර සංස්කෘතික අංග කිහිපයකින් ද උත්සය විචිත්‍රවත් කෙරිණි.

-ආරියරත්න රණබාහු-