අදින් නිමාවට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම් පාකිස්තාන සංචාරකයෙන් අනතුරුව එළඹෙන ඕස්ටේ‍්‍රලියා විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නිත්‍ය නායක ලසිත් මාලිංග කටයුතු කරන
බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීම් කමිටු සභාපති මේ කළමනාකරු ලෙස කටයුතු කරන අසත්ත ද මෙල් මහතා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි රැදී සිටින හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ පළිබද ප්‍රකාශ කළේය. "පකිස්තාන සංචාරයෙන්
ඉවත් වුණු ක්‍රීඩකයන් 10 දෙනා අතරින් 3,4 දෙනකුට තමයි ඔස්ට්‍රේලියා සංචාරයක  එක්වෙන්න පුළුවන්. 11 වැනිදාට අපි ඕස්ට්‍රේලියා සංචාරය සඳහා තේරීම් කටයුතු සිදුකරනවා. ලසිත් මාලිංග තමයි නායකයා ලෙස කටයුතු කරන්නෙ” යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම් වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව පැවසූ මෙල් මහතා "ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කරන විදිය ගැන මමඉතාමත් සතුටුවෙනවා, ඔහුගේ ඉනිම්වලින් මම දැකපු හොඳම ඉනිම් දෙකක් තමයි එක්දින තරගයේ ලබාගත් 130ත් විසයි-20 තරගයේ ලබාගත් ලකුණු 50ත්, ඔහුගේ මේ ජවය දිගටම පවත්වාගන්න පුළුවන් නම් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ශක්තියක්. ඒ වගේම අපේ දඟ පන්දු යවන අංශයෙන් ගත්තොත් වනිඳු ඉතා වේගයෙන් දියුණු වෙනවා. සදකැන්ටන් එක්තරා මට්ටමකින් ක්‍රීඩා කරන්න අවස්ථාව දීලා ඔහුට අවශ්‍ය  විශ්වාසය දෙන්න පුළුවන් නම් අපේ දඟ පන්දු යවන අංශයට අනිත් කණ්ඩායම්වලට ලොකු අභියෝගයක් ලබාදෙන්න පුළුවන් කියලා මම හිතනවා.” යනුවෙනි.

මේ අතර ලබන වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීම පිළිබඳ පැනයකට පිළිතුරු දුන් මහතා ලෝක කුසලානයට පෙර අපිට තව තරග 18ක් විතර තියෙනවා. අවාසනාවන්ත විදියට අපිට සුදුසුකම් ලබාගැනීම් වටයටත් ක්‍රීඩා කරන්න තියෙනවා. ලෝක කුසලානයට හොදින් මුහුණදෙන්න ශක්තිමත් සංචිතයක් හදාගන්න අපි ඉදිරි තරග යොදාගන්න අවශයයි" යනුවෙන් සඳහන් කළ අතරම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනන පරිපාලනය තම තේරීම් කටයුතු වෙනුවෙන් කිසිදු  බලපෑමක් සිදුනොකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් ඉතා හොඳ සහයෝගයක් ලබාදෙන බවත් අවධාරණය කළේය.

සඳරු පෙරේරා , ලාහෝර් නුවර සිට