ගම්පහ සණස බැංකුවේ තැන්පතුකරුවාන්ගේ රුපියල් කෝටි 55කට අධික මුදලක් සාවද්‍ය
පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  එම බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ
මූල්‍ය විමර්ශව විශේෂ ඒකකයහි නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම්පිටිය, දිවුලපිටිය පදිංචි නානායක්කාර ජයසූරීය අප්පුහාමිලාගේ ලලිත ජයසුරිය නමැත්තෙකි. තැන්පත්කරුවන් 120කට අධික පිරිසකගේ ගිණුම් වල තිබූ රුපියල් 55,85,84.113ක මුදලක් සැකකාර සභාපතිවරයා විසින් අවභාවිත කර සාවද්‍යා පරිහරණය කර ඇති බවට විමර්ශනවලදි අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්  පැවසීය.

ගම්පහ සණස බැංකුවේ තැන්පත්කරුවන් සිය ගිණුම්වල මෙම මුදල් තැන්පත් කර තිබුණේ 2002 සිට මේ දක්වා වූ කාලසීමාව තුළදීය. මෙම සිද්ධියට අදාළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ විසින් සැකකාර සහාපතිවරයා ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පහ සණස බැංකුවේ ඔහුගේ කාර්යාලය තුළදී බටද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සැකකරු අද (18) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-නිමන්ති රණසිංහ-