දරුවන් නොමැති යුවළකට රුපියල් 40,000ක මුදලකට දරුවකු විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ තිදෙනකුට ශරිර ඇප නියම කර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පවත්වන

තෙක් එම දරුවා මහනුවර ටිකිරි ළමා නිවාසයේ රඳවා තබන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.

ගම්පොළ රෝහලේදී පසුගිය සැප්තැම්බර් මස 11 දින ඉපදී ඇති මෙම දරුවා ඉපදී දින පහකින් මහනුවර කටුකැලේ ප්‍රදේශයේ දරුවන් නොමැති යුවළකට මෙලෙස විකුණා තිබුණි.

මේ සඳහා බ්‍රෝකර්වරයකු මැදිහත් වී ඇති අතර, දරුවා එම යුවළට බාරදීම නීඥවරයකුගේ ලිපියක් අනුව සිදුකර ඇත.

දරුවා විකුණූ මව ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇයට තවන් දරුවන් දෙදෙනකු සිටින බව පරික්ෂණවලින් හෙළි වී තිබේ.

තුන්වන දරුවා වන මෙම දරුවා හදා වඩා ගැනීමට නොහැකිව දැඩි ආර්ථික අපහසුතා නිසා මෙසේ එම යුවළට ලබාදීම සිදුකර ඇත.

දරුවන් නොමැති මෙම යුවළට එක්වරම දරුවකු සිටීම දුටු යම් අයකු මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැන්වීම නිසා මහනුවර ළමා හා කාන්තා අංශයේ නිලධාරින් පැමිණ එම දරුවා හා යුවළ පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම කරුණ හෙළිවී තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ මව, බ්‍රෝකර්කරු හා දරුවා හදා ගැනීමට ගත් මවට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය ගම්පොළ ප්‍රදේශයේ සිදුවීමක් හෙයින් මොවුන් ගම්පොළ පොලිසිය වෙත බාරදීමට කටයුතු
කිරීමෙන් පසු ගම්පොළ පොලිසිය මගින් අධිකරණය මවෙත ඉදිරිපත් කර තිබුණි. ගම්පොළ කොටඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරී චූලනි වීරරත්න. ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. තුසිත හලංගොඩ යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරික්ෂණ කටයුතු සිදු කළහ.

ගම්පොළ - සුරංග රාජනායක