ඊශ්‍රායලය "හරීෂ්" නම් නගරය ආසන්නයේ තිබී අදින් වසර 5,000කට පමණ පෙර ජනතාව වාසය කළ ඉපැරිණි නගරයක නටබුන් සොයාගැනීමට හැකි  වුණු බවට එරට පුරාවස්තු අධිකාරියේ නිලධාරීන් පසුගියදා  අනාවරණය කළේය. ඒ අනුව මෙය ලෝකඩ
යුගය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තුළදී එතෙක් මෙතෙක් සිදු කෙරුණු වඩාත් විශාලතම සොයා ගැනීම් අතරින් එකක් ලෙසටද එරට පුරාවිද්‍යාඥයන් හදුන්වාදී ඇත.

ඊශ්‍රායලයේ ටෙල්අවිවි නගරයට කිලෝමීටර් 50ක් ඈතින් මෙම හරීෂ් නගරය පිහිටා තිබේ. මෙය ඊශ්‍රායලය විසින් මෑතකදී නම් කරන ලද නගරයකි. එහි අධිවේගී මාර්ගයක් ඉදිකළ ව්‍යාපෘතියක් සඳහා සිදුකළ කැණීමකදී මෙම ඉපැරණි නගරයේ නටබුන් සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණි.

මෙය ඉතා හොඳින් සැලසුම් කළ ජනාකීර්ණ තත්ත්වයේ පැවැති නගරයක් බව මූලික අධ්‍යයන මගින් හෙළි වී තිබේ.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මුල්කාලීන ලෝකඩ යුගයේ ජනාවාසයක්ව පැවැති මෙම නගරය තුළ ආසන්න වශයෙන් 6,000ක ජනතාවක් වාසය කර ඇත. මෙම නගරය හෙක්ටයාර 65ක භූමි ප්‍රමාණයක් පුරා වස්තුව තිබී ඇති බවත් මෙහිදී අනාවරණය කර ගෙන තිබේ. එම ජනතාව භාවිත කළ හැටි භාණ්ඩ ඇතුළු උපාංග රැසක්ද සොයා ගෙන ඇතැයි ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය පවසයි. ඒ අනුව මෙම නගරය 'මුල්කාලීන ලෝකඩ යුගයේ නිව්යෝක් නුවර' ලෙසින්ද හැදින්විය හැකි බව ඊශ්‍රායල පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

"දැනට ඉතිරීව පවතින නිවාස ගොඩනැගිලි, ඒවායේ ඇති එකිනෙකට වෙනස් පහසුකම් සහ මහජ ගොඩනැගිලි මගින් වඩාත් සංවිධානාත්මකව පැවැති මෙම සමාජයේ එකල තිබූ සමාජ ස්ථරයන් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දෙනවා." ඊශ්‍රායල පුරාවිද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත.