වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී තරුණයකු ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයකු සැඟව සිටියදී ඊයේ (17දා) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ් නමැති තරුණයා පසුගිය 09
වැනිදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රිරෝදයකින් තවත් අයකු කුලී ගමනක් සඳහා රැගෙන යෑමෙන් පසුව අතුරුදන්ව සිටියේය. පසුව කල්ලිකුලම් කැලෑවකදී එම තරුණයාගේ මළ සිරුර පුලුස්සා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. අනතුරුව එය ඝාතනයක් බවට හෙළි වීමෙන් පසු ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොටිඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සතියක කාලයක් තුළදී සන්නිවේදන තාක්ෂණය යොදාගනීමින් ඝාතනය සිදු කළ බවට සැකකරන වවුනියාව මුරුගනුර් ප්‍රදේශයේ
පදිංචි 25 හැවිරිදි නඩරාජා ක්‍රීෂ්ණලෝජන් නමැති 25 හැවිරිදි තරුණයකු මාතර ප්‍රදේශයේ
සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත් අඩංගුවට ගත් සැකකරු පසුව පොලිසියට පාපෝච්චාරණයක් සිදුකර ඇති අතර එහිදී සැකකරු විසින් අදාළ ඝාතනය කළ අයුරු පොලිසියට පවසා ඇත. මියගිය තරුණයාට ත්‍රිරෝදයක් ඇති නිසා පසුගිය 07 වැනිදා නෙඩුක්කේනී ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කළද එය අසාර්ථක වීමෙන් පසු පසුදින නැවතත් ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇත. පසුව ත්‍රිරෝද රථයේම ඉන්ධන ගෙන සිරුරට දමා පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන් මාලය හා රුපියල් 2800ක් රැගෙන පලා ගොස් ඇති අතර එහිදී ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුළු මියගිය තරුණයාගේ අනෙකුත් දෑ වැසිකිළි වළකට දමා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
සැකකරු විසින් මියගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ සාප්පුවකට රුපියල් 89,000කට උකස් තබා ඇති අතර එයද සොයා ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් පරීදි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණයෙන් වවුනියාව පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතා, සහකාර පොලිස් අධිකාරී මල්වලවගේ  ම‍ෙහෙයවීමෙන් නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොල්ස් පරීක්ෂක කේ .පී.සී.ජී , කෝරලගෙදර මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන කුලතිස්ස (3279), ජේසුදාසන් (42521), පොලිස් කොස්තාපල්වරුන් වන නිශ්ශංක (4C2015, ජීවානන් දන් (45401). කරුණාතිලක (2391), සාලිය (74331), වීරසේන 784482, රියැදුරු 7533) යන නිලධාරීන් දායක වී ඇත.

මුලතිව් - ශෂිකුමාර්