https://www.gossiplankanews.com/2019/10/20-father-daughter-abuse.html
බිරිය විදේශගතව සිටියදී බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බවට අධිකරණය හමුවේ අධිචෝදනා පියෙකු වසර විස්සක බරපතල සිරදඬුවමක් නියම කළ
උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අධිකරණය මගහැර සිටින විත්තිකරු දුටුතැන වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් ක්‍රියාත්මක කිරීමට පෙරේදා  (22දා) නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ කැකිරාව පොලිස් වසමේ පදිංචිව සිටින මාස කිහිපයක සිට අධිකරණය මගරෙමින් සිටින 38 හැවිරිදි පියකුටයි. අවුරුදු 11යි මාස අටක් වූ සිය දියණියට 2014 ක්වූ සැප්තැම්බර් මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කැකිරාව පොලිස් වසමේ පිහිටි සිය නිවෙසේ බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364/365 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.


විත්තිකාර තරුණයාගේ බිරිය විදේශගතව සිටියදී දියණියන්ගේ පපු පෙදෙසේ තිබූ දදයකට ප්‍රතිකාර සිදුකරන බව පවසමින් අවස්ථා දෙකකදී අපයෝජන සිදුකර තිබෙන බවත් පසුව බාලවයස්කාරිය ඒ පිළිබඳව නැන්දණියට දැන්වීමෙන් අනතුරුව ඇය කැකිරාව පොලිස් ස්ථානයට දුරකථනයෙන් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර විත්තිකරු අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ බව කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ලඝුනොවන නඩුවිභාගයෙන් කියැවිණි.

විත්තිකරු පසුගිය මාර්තු මස 13 වැනිදා සිට අධිකරණය මඟහැරීම නිසා විත්තිකරු නොමැතිව නඩු විභාගය සිදුකිරීමෙන් පසුව ඔහුට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා දෙකකට වරදකරු බව නිගමනය කළ විනිසුරුවරයා වසර දහය බැගින් වසර විස්සක අනිවාර්ය සිරදඩුවමක් විත්තිකාර පියාට නියම කළේය.


සිරදඬුවමට අමතරව රුපියල් දස දහස බැගින් රුපියල් විසි දහසක දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් දෙලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ අතර එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විත්තිකරුට නියම කළේය.

විත්තිකරු අධිකරණය මඟහරමින් සිටින නිසා ඔහුව දුටුතැන අත්අඩංගුවට ගැනීමට  විවෘත වරෙත්තු නිකුත් කළ විනිසුරුවරයා අත්අඩංගුවට ගත් දිනයේ සිට සිරදඬුවම් ක්‍රියාත්මක කරන ලෙසට නියෝග නිකුත් කළේය.

විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටි සමයේ නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතා පෙනී සිටි අතර අගතියට පත්වූ දරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සමඟ කැකිරාව පොලීසියේ මහාධිකරණ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් එම්.එච්.එම්.ජේ.බී.ඊරියගොල්ල (15096) යන මහත්වරු පෙනී සිටියහ.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය