ඡන්ද පත්‍රිකාව දිගුවිම නිසා මෙවර ඡන්ද පෙට්ටියකට ඇතුළත් කළ හැක්කේ ඡන්ද පත්‍රිකා 400 ක් පමණකැයි මැතිවරණ කොමිසම කළ අත්දා බැලීමකදී හෙළි වී ඇත. මෙයට පෙර මැතිවරණවලදී ඡන්ද පෙට්ටියකට ඡන්ද පත්‍රිකා 700 ක් පමණ ඇතුළත් කිරීමට හැකියාව තිබූ බව‍ මැතිවරණ කොමිසමේ ප්‍රධානීහු පවසති.

මේ තත්වය යටතේ සෑම ඡන්ද පොළකම අතිරේක ඡන්ද පෙට්ටියක් සූදානම් කර තබන ලෙසට මැතිවරණය ප්‍රධානීන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ අතර ඡන්ද පෙට්ටි හිඟය සපුරා ගැනීම සඳහා ඝන කාඩ්බෝඩ් (කඩදාසි) වලින් තැනූ ඡන්ද පෙට්ටි දස දහසක් පමණ මෙරටින් මිලදී ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඉබි යතුරු ලෑමට හැකි අයුරින් මෙම ඡන්ද පෙට්ටි නිෂ්පාදනය කෙරෙන බව කියන මැතිවරණ නිලධාරිහු අබලන් වී පැවැතුණු ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියා කළ බව ද ප්‍රකාශ කරති. මෙවර ජනාධිපතිවරණයට අදාළ ඡන්ද මධ්‍යස්ථාන 12,000 ක් පමණ ක්‍රියාත්මක වෙයි. ඡන්ද පෙට්ටි 25,000 ක් පමණ මැතිවරණ කොමිෂන් සභාව සතුව මේ වන විට පවතින බව එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.

-සුජිත් හේවාජුලිගේ-