ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (ඔක්. 27දා) සිට නොවැ. මස 01දා දක්වා නැරඹිම සදහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පන්තියේ (VIP) ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ  අතර මෙම ප්‍රවේශපත් ප්‍රමාණය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොමැති බව සදහන් කරමින් තවත් ප්‍රවේශපත් 30ක් මිලදී ගැනීමට ක්‍රිකට් පරිපාලන කට්ටුවේ අනුමැතියට යොමු කර ඇතැයිද හෙළි වේ.

ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය නැරඹීමට ක්‍රිකට් සභාපති ඇතුළු ක්‍රිකට් ලොක්කෝ පිරිසක් මේ වනවිටත් සූදානමින් පසුවන බව අනාවරණය වේ. කෙසේ වෙතත් මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සිතාමතා කරන මුදල් නාස්තියක් බවට ක්‍රිකට් ආයතනයේම සේවක පිරිස චෝදනා කර සිටිති.

මීට පෙර දලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙවැනිම ආකාරයේ මුදල් නාස්තියක් සිදුවුණු අතර, ක්‍රිකට් ආයතනයේ මෙන්ම එහි සාමාජික සංගම්වල වත්මන් පරිපාලනයට ඡන්දය ද ලබාදුන් පිරිස සඳහා මේ ආකාරයෙන්ම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය පියවර ගත්තේය. එම අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් 30කට වැඩි පිරිසක් එංගලන්තයේ සංචාරයට එක්වූ අතර, ක්‍රිකට් ආයතනයේ සේවකයන් පෙන්වා දෙන්නේ එම මුදල් ක්‍රිකට් යටිතල පහසුකම් දියුණු කිරීමට යෙදවූයේ නම් ක්‍රිකටිවලට හෝ සේවාවක් වන බවයි.

එහෙත් වත්මන් පරිපාලනය දිගින් දිගටම මේ ආකාරයෙන් මුදල් විශාල වශයෙන් නාස්ති කරමින් සේවකයන් සහ සාමාජික සංගම්වල නියෝජිතයන්ට ඡන්ද අල්ලස් ලබාදෙමින් විදෙස් සංචාර පිරිනමන බවද එම සේවකයෝ වැඩිදුරටත් චෝදනා කර සිටිති.

පැතුම් ශ්‍රී විජේරත්න