https://www.gossiplankanews.com/2019/10/199-galgamuwa-adheesha-grade-5-first.html#more
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු (199ක්) ලබාගෙන ඇත්තේ මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ එච්.එම්. අදීශ නෙතුම් හේරත් සිසුවායි.
ඔහු ගල්ගමුව මහගල්කඩවල ප්‍රදේශයේ
පදිංචි අයෙකි. අදීශගේ පවුලේ අම්මා, තාත්තා හා අක්කලා දෙන්නා සමග සාමාජිකයන් පස්දෙනෙකි. අදීශගේ අක්කලා දෙදෙනාම සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ අයයි.

අදීශගේ පියා එච්.එම්.විජයකුමාර හේරත් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරිවරයකු ලෙස සේවය කරයි. මව වන එස්.ජේ. ඉන්දිකා ප්‍රියංගනී උතුරුමැද පළාත් කාර්යාලයේ ප්‍රාදේශීය නිලධාරි ලෙස සේවය කරයි.

දරුවාගේ ජයග්‍රහණය පිළිබඳ පියා වන එච්.එම්. විජය කුමාර හේරත් මෙසේ කීය.


මගේ ලොකු දුව සදිනි නෙත්මිකා හේරත් 2014 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ගත්තා. පොඩි දුව වන සනුජි ඉමල්කා හේරත් 2017 වසරේ ලකුණු 184ක් ගත්තා. දෙන්නම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ගියේ. දැන් ඒ දෙන්නා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට යන්නෙ.

පුතා පන්තියේ වැඩවලට දක්ෂයි. හැමදාම කී‍වේ අක්කලා දෙන්නට වඩා එක ලකුණක් හරි ගන්නවා කියලා. ඒදේ අද පුතා කරලා තියෙනවා. ලංකාවේ වැඩිම ලකුණු ලැබුවා කියලා දැනගත්තම දැනුණේ ලොකු සතුටක්. ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් හොඳම ප්‍රතිඵල පෙන්නන සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති වරුණ බණ්ඩාර සර් වගේම දරුවන්ගේ ජයග්‍රහණය පිටුපස හිටිය පුබුදු රණසිංහ, සරත්කුමාර, චන්දන තෙන්නකෝන් යන පන්ති භාරව හිටිය ගුරුවරුන් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

එස්.ජේ.ඉන්දිකා ප්‍රියංගනී (මව)

පුතා හැමදාමත් පාසලේ දුන්න වැඩ ටික පාසල ඇරිලා ඇවිත් කරනවා. කවදාවත් පාන්දරට නැගිටලා පාඩම් කළේ නැහැ. හවසට ක්‍රිකට් ගහනවා. ක්‍රිකට්වලින් ඉහළට යන්නත් එයාගේ ලොකු ආශාවක් තියෙන්නේ. ලොකු දුව ශිෂ්‍යත්වය පාස්වෙලා ලකුණු 192ක් ගත්ත පෝස්ටර් එකක් ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ දාලා තියෙනවා. පුතා හැමදාම කියනව ඔයාගේ බැනර් එක එතැනින් ගලවලා මගේ බැනර් එක තමා දමන්නේ කියලා. පුතා ලබපු ජයග්‍රහණය ගැන හරි සතුටුයි. පාසලෙන් දුන්න වැඩක් ගෙදරින් කරගන්න බැරිවුණොත් පුතා පහුවදාට පාසල් යන්නේ නැහැ. හැමදාමත් පාසලෙන් දුන්න වැඩ ටික එයා ඉවර කරනවා.


එච්.එම්. අදීශ නෙතුම් හේරත් සිය ජයග්‍රහණය ගැන මෙසේ සතුට ප්‍රකාශ කළේය.

අක්කලා ගත්ත ලකුණු පාස් කරලා ඉහළ ලකුණක් ගන්නවා කියලා හිතුවා. මම හැමදාමත් පාසලේ දුන්න ප්‍රශ්න පත්‍රවලට ලකුණු 90ට වඩා ගත්තා. මම සවසට ක්‍රිකට් ගහනවා. ඊට පස්සේ පාඩම් වැඩ කරනවා. මගේ ආශාව කවදාහරි ඉංජිනේරුවෙක් වෙලා අපේ රටට සේවය කරන්න.
ඉකෝලේ දී කියා දෙන හැම දෙයක්ම මම හොඳින් අහගෙන හිටියා.අමතක නොකර හවස ගෙදර ඇවිත් පාසලේ දී දුන්න වැඩ සියල්ලම කළා.අමතර ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා.අමතර පන්තිවලට සහභාගී වුණා.මම මේ දේවල් කළේ ගොඩක් ආසාවෙන්.අම්මා තාත්තා මේ දේවල් කරන්න කියලා මට බලපෑම් කළේ නැහැ.
ඒ වගේම මම ක්‍රිකට්වලටත් ආසයි. ලංකා ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්නත් ලොකු ආශාවක් තියෙනවා. ඒ නිසා මම කුරුණෑගල මලියදේව විදුහලට යන්න බලාපොරොත්තු වෙනවා.
මේ ජයග්‍රණය ලබා ගන්න මට ගොඩක් දෙනෙක් උදවු කළා.
මට මේ ජයග්‍රහණය ලබාගන්න උදව් කළ අම්මා, තාත්තා, අක්කලා දෙන්නා පාසලේ විදුහල්පති වරුන බණ්ඩාර සර්, අපිට උගන්නපු පුබුදු සර්, සරත් සර්, චන්දන සර් ඇතුළු අනිකුත් ගුරුවරු මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා.

ආනන්ද කරුණාතිලක - ගල්ගමුව