දුම්රිය ශ්‍රේණි පහක් සිදුකළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ සමස්ත පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝට් දහඅටකට අධික බවත්, එහි වගකීම කැබිනට් මණ්ඩලය භාරගත යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

අදාළ ගැටලුව
විසඳීමට 2018 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබූ බවත්, එහෙත් එය ක්‍රියාත්මක නොකිරීම නිසා සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට දින 12ක වැඩවර්ජනයක් සිදු කළ බවත් එම
සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. ලියනගේ මහතා පැවසීය.

වැඩවර්ජනය නවතා දැමුවත් තවමත් අදාළ වැටුප් විෂමතාව විසදීමට කටයුතු කර නොමැති බවත්, එබැවින් දුම්රිය රියදුරු, ස්ථානාධිපති, පාලක, නියාමක හා අධීක්‍ෂණ සේවාවලට වැටුප් වැඩි කිරීමට කටයුතු කර ඊට සාපේක්ෂව අනෙකුත් දුම්රියට සේවකයන්ටත් වැටුප් ඉහළ දැමිය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේ නොමැති වුවහොත් අඛණ්ඩව දුම්රිය සේවය තුළ විවිධ වැඩවර්ජනය සිදු විය හැකි බවද එස්.පී. ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

එච්.අයි. තුෂාර