ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පසු ජනාධිපතිවරයාගේ වැය ශීඝ්‍රයෙන් 90%ක් කපා දමා එම මුදල් ගොවි ජනතාවගේ යහපත වෙනුවන් යොදවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති
අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන්ගම වන තඹුත්තේගමදී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.තඹුත්තේගම බස්නැවතුම් පොළ භූමියේදී මම ජන රැලිය පෙරේදා (08දා) සවස පැවැත්විණී.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

අපේ රටේ ජනාධිපතිවරයා නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවාද? රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත්වෙන්න විදියක් නැහැ, කුසට අහරක් නැහැ, ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ
බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණගන්න විදියක් නැහැ. ඒ වී වලට මුදක් නැහැ. හැබැයි රටේ නායකයට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලීගා තියෙනවා. තවත් පාසිකුඩාවල මාලිගාවක් හදන්න යනවා.
ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා, රැස්වීමක් තියනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා, ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක්
නහරයක් ගානේ මාලිගා හදන්න ඕනද? මේ ජනාධිපතිවරු මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. මේ රට හදන්න නම් උඩ ඉදලම සුද්ද කරන්න වෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ක්‍රියාවලිය පිරිසුදු කිරීම ආරම්භ කරන්නේ ජනාධිපතිවරයාගෙන්.ජනාධිපතිවරයෙකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කීවා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකමි කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකමිවරු හිටියා. මම පාර්ලිමේන්තූවදි පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්යමණ්ඩලය කී දෙනෙක් ඉන්නවද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණ. මේ අයට කැබ් එකයි, තිස්දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඊයදුරුයි ලැබෙනවා. අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නෙවෙයි. අපි හොරකම නම් නතර කරනවා. රවී කරුනානායකට, ලක්මන් කිරිඇල්ලට ඒ අයගේ පොල් වතුවලින් ව්‍යාපාරවලින් ලැබෙන ආදායම තියාගන්න පුළුවන්. ඒ වගේම බැසිල් රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, ගෝෂ්ඨාභය රාජපක්ෂට මැදමුලනෙන්
ආදායමක් තිබුණා නම් ඒවා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට බණ්ඩාරවල තේ වත්තේ ආදායම ගන්න පුළුවන්. එහෙම නැතිව මහජනතාවගෙන් හොරකම් කරන ලද උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරාගන්නවා.
අද දේශපාලන වේදිකාවේ විවිධ දේවල් කියනවා. හැබැයි
කොතනද කතා කරන්නේ
වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු කරත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනිත් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවද මේ රටේ කොයි පක්ෂයද කාටද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ, අපි ඔබට ඒක සහතිකයක් ලබාදෙනවා. එක සැරයක් ඔබ අපට බලය ලබාදුනොත් මේ රටේ හොරකම් අප නියත වශයෙන්ම නතර කරනවා. අපි ඒක සතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වීදිකාවේ ඉන්නේ මහජනයාට අයිති සත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න මගේ අම්මගේ, මගේ නිවස, ඒනිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 350ක් බැකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියනවා. තවමත් සාලේ කෑල්ල හදනවා.
මේ රට ගොඩගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. රට ගොඩගන්න නම් හොරකම් නොකරන පාලනයක් ගොඩනගන්න ඕනේ" යනුවෙන් කියා සිටියේය.

තඹුත්තේගම - නන්දන  සමන් කුමාර/ මකුලෑව -ලේකම්ගේ අනුර/ බුල්නෑව ප්‍රදීප් රණතුංග