දේශපාලනඥයන් සහ ඇතැම් නිලධාරින් සිදුකරන ලද මහා පරිමාණයෙන් වංචා සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව සිදුකළ පරික්ෂණවලදී හාල්මස්සන් කොටුවී තෝරු, මෝරු පැන ගිය බව බරපතළ වංචා
දූෂණ විමර්ෂශන ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා මහනුවරදී පැවැසීය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂක ජනරාල් මහේෂ් සේස්නානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල්  කැන්ඩියන් හෝටල් ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් කරුණු දැක්වූ ලැසිල් ද සිල්වා මහතා මෙසේ ද කීය.
"බැදුම්කර වංචාව සිදුකළ අය රටේ ඉතාම දූෂිත වංචාවක්. හෙජින් ගිවිසුම, වැට් වංචාව යන වංචාවන් අතිශයින්ම දූෂිතයි.
හොරු අල්ලන්න ආපු මිනිස්සු අධිභාරයට අකැමැති  වූවා.
රටේ තිබුන සම්පත් අමු අමුවේ හොරා කන මතයකටයි යහපාලන ආණ්ඩුව ආවේ. එදා ජාතික විගණන පනතට විරුද්ධ වුණා.

අද වනවිට මේ දූෂණ විමර්ශන කොමිෂන්සභාව විසින් විමර්ශනයට ලක් කළ වටිනා ලිපි ගොනු රාශියක් තවමත් ඒ ඒ තැන්වල මේසවල ගොඩගැහිලා. ගම් රටේ ඡනතා දේපළ, ඡනතා මුදල් සොරකම් කරන හොරු පත්තන්න අවශ්‍යමයි. තවමත් වංචා දූෂණ සිද්ධීන්වලට අදාළ ලිපිගොනු යට ගැහිලා. රඡයේ ප්‍රබල නායකයෝ දේශපාලනඥයෝ මට බලපෑම් කළා මේ වංචා දූෂණ පරික්‍ෂණ අඩපණ කිරිමට. එක් ප්‍රබල දේශපාලනඥයෙක් මට කිව්වා මේවාට අත නොගහා ඉවත්ව යන්නැයි කියා.

දේශපාලන බලපෑම්වලට යට වෙන්න බැරි නිසා මට සිද්ධ වුණා මම දරමින් සිටි ධුරයෙන් ඉවත් වී ගෙදර යන්න."
ඉදිරියේදී තමන් රාජ්‍ය දේපළ හා රාජ්‍ය මුදල් වංචා කළ බලගතු පුද්ගලයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ හෙළිකරන බව ද ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, පුරවැසි හවුල් සංවිධායක (මහනුවර) හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායක, නීතිඥ එම්.බි.පී. හඳකුමාර, කමල් අද්දරආරච්චි, ගාමිණි නන්ද ගුණවර්ධන සහ ආනන්ද කුමාරගොඩ යන මහත්වරු සහභාගී වූහ.

ජේ.ඒ.එල්. ජයසිංහ