ධීවර බෝට්ටුවේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා මුහුදේ දින 10ක් අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවර පිරිසක් මියන්මාරයේ වෙරළ ආරක්ෂකයන් විසින් බේරාගෙන මේ මස ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇති බව
මියන්මාරයේ ශ්‍රී ලංකා
තානාපති නන්දිමිත්‍ර ඒකනායක පවසයි.

​​මෙම ධීවරයන් අගෝස්තු මස 01 වැනිදා මාතර දෙවුන්දරින් මුහුදු ගොස් මුහුදේදී සැඩ සුළඟට හසුව අමු මාළු කමින් දින දහයක් මහ මුහුදේ ගතකරමින් සිටියදී මෙලෙස මියන්මාරයේ වෙරළ ආරක්ෂකයන්ට හමුවී ඇත. එම වෙරළ ආරක්ෂකයන් පැතෙන් ප්‍රාන්තයේ නාගපුඩු ආගමන හා විගමන කාර්යාලයට මෙම ධීවරයන් ගෙනැවිත් ඇත. පසුව මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

මෙම ධීවරයන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ලබාදී අවශ්‍ය පහසුකම් ලබාදීමට තානාපති කාර්යාලයීය නිලධාරීන් කටයුතු යොදා තිබේ. පසුව ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇත.

මෙම ධීවරයෝ මාතර ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.පී. චමින්ද, එස්. ආර්. හෙට්ටාආරච්චි, කේ.බී. බන්දුසේන, එච්.ඒ. පී. සම්පත්, කේ.බී. සාන්ත යන අය වෙති.

ගැමුණු ධර්ම ශ්‍රී හේරත් - මාතලේ