නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයකට එරෙහිව වෙන්නප්පුව නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විරෝධය දැක්වීමට උරණව එම පාසලේම එම ශ්‍රේණියේ
ඉගෙනුම ලබන සිවු දෙනෙකු ඔහුට පෙන්වා පෙරේදා (08දා) පහරදී ඇති බවත්, පහරකෑමට ලක්වූ සිසුවා දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

මෙම පහරකෑමට ලක්වූ සිසුවාගේ දෙමාපියන් මාධ්‍යයට මෙසේ පවසා ඇත.


"බෝලවත්ත වයික්කාල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ඉතා රහසිගතව පවත්වාගෙන යන අයෙකු හා සම්බන්ධ සිද්ධියක් මුල්කරගෙනයි මේ පහරදීම සිදුවී ඇත්තේ . එම ස්පා ආයතන හිමියා අසරණ පාසල් දරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන්ව රහසිගත අන්දමින් එම නීතිවිරෝධී කටයුතුවලට හවුල් කරගැනීම දිගුකලක සිට සිදුවූවක් නමුත් ඔහුට එරහිව රටේ නීතිය මෙතෙක් හරිහැටි ක්‍රියාවට නිංවා නැහැ.

එම පුද්ගලයා විසින් මගේ දරුවා වෙත ලබාදුන් ඇමතුම් හා එම ආයතනයට හවුල්කර ගැනීමට කල බලපෑම් අප සතුව තිබෙනවා. රටේ නීතිය කාටත් පොදුවන නමුත් එම පුද්ගලයා දේශපාලන බලපෑම් කරමින් සිසුන්ව බියගන්වා මෙම කටයුතුවලටත් මත්කුඩුවලටත් දරුවන් ඇම්බැහි කිරීමටත් දිගින් දිගටම පියවර ගන්නවා."

මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍ය මහින් වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධි නීතිඥ චමිලි කුරුකුලසූරිය මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
"මෙම සිද්ධිය ඇත්තක්. පහරකෑමට ලක්වූ සිසුවා දැනට දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේම මෙම පහරදීම සිදුකළ සිසුන් සම්බන්ධව එම විදුහලේ විදුහල්පති පියනම ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය එක්ව එම සිසුන්ගේ දෙමාපියන් දැනටමත් පාසලට කැඳවා අභ්‍යන්තරව විනය පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේ සම්බන්ධව මේ මස 08 වන දින පොලීසියට පැමිණිලි කර ඇති නිසා පොලීසිය මගින්ද අවශ්‍ය නීතිමය පියවර ගෙන  ඇති බව කිවයුතුයි."

ලුණුවිල - ආර්. ප්‍රනාන්දුපුල්ලේ