සෑම දිනකම එක් දේශපාලන නියෝජිතයකු හෝ තමන් බැහැ දැකීමට පැමිණෙන බවත්, කොතරම් අය පැමිණියත් තමන් ඇතුළු රැහේ සියලු දෙනාට ඡන්දය දිය හැක්කේ එක් අපේක්‍ෂකයකු වෙත පමණක් බවත්
ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.ෙ
ජනාධිපතිවරණය පිළිබඳ  අදහස් දක්වමින් ආදිවාසී නායකයා මේ බව පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ වන්නිල ඇත්තන්,

ඡන්දය දීම සඳහා මේ දක්වා කිසිදු අපේක්‍ෂකයකු තෝරාගෙන නැහැ. ස්වාධීනව සිටිමින් ඔහු කවුරුන්දැයි ඉදිරි කාලයේදී තීරණය කරනවා. වරිගයට යම් සේවයක් සිදුකරනු ඇතැයි යම් අපේක්‍ෂකයකු පිළිබඳ විශ්වාසයක් ඇති වුවහොත් පමණක් වරිග සභාව රැස්කර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට කටයුතු කරනවා. එසේ නොවුණහොත් තම තමන් කැමැති
ආකාරයට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසනවා.

සමගියෙන්, සහෝදරත්වයෙන් හා නිහතමානීව ජනතාවට සේවය කරයි යන විශ්වාසයක් මේ රටේ දේශපාලන ප්‍රවාහයේ මේ දක්වා නිර්මාණය වී නැහැ. වර්තමානයේ දැක ගැනීමට ඇත්තේ වෛරය, ක්‍රෝධය ඉහවහා යන දේශපාලනයක්. මේ තත්ත්වය තුළ සැබෑ ශ්‍රී ලාංකික සමාජයක් පිළිබඳ සිහිනය බොඳවී යන තත්ත්වයක් නිරීක්‍ෂණය වෙලා. වෛරයේ තරම කොතරම්දැයි දේශපාලනය වේදිකාවක් අබියසට හෝ රූපවාහිනියක් ඉදිරියට ගිය විට හොඳින් පැහැදිලි කර ගත හැකියි. ලාංකික සමාජයද එම කතා ඇසීමට දැන් පුරුදුවී සිටිනවා.

සංඝරත්නය මුණ ගැසීමට පැමිණෙන්නා සේම තමන් මුණ ගැසීමටද විවිධ අවස්ථාවල දේශපාලන නියෝජිතයන් පැමිණෙනවා. ඒ සෑම කෙනෙකුගේම අතේ ආශීර්වාද නූලක් ගැට ගසා ආරක්‍ෂාව ප්‍රාර්ථනය කරනවා. කොතරම් අය පැමිණියත් ආදිවාසීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් මේ දක්වාම ක්‍රියාත්මක වී නැහැ. කැලෑ විනාශ කරන, ජල උල්පත් විනාශ කරන, වස විෂ ආහාරවලින් සමාජයේ ශක්තිය හීන කරන සහ මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් සමාජය වෙලා ගන්නා තත්ත්වයක් ඇති කිරීමටනම් නායකයන් අවශ්‍ය නැහැ. එම තත්ත්වයන්ගෙන් රටත් ජනතාවත් සුරක්ෂිත කරන දේශපාලනයක් නිර්මාණය වන්නේ කවදාදැයි සියලුදෙනා බලා සිටිනවා’’ යැයි පැවසීය.

කුමාර එන්. අස්මඩල