https://www.gossiplankanews.com/2019/09/youth-death-couple-suspect.html
මීට වසර එකහමාරකට ඉහතදී තරුණයෙකුට පහරදී ඝාතනය කර රක්ෂිත කැලෑවක වළදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් ඇතුළු සිවුදෙනෙකු මේ මස( 17දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස
රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය පෙරේදා (O4දා) නියෝග කළාය.
ලෙල්ලොපිටිය, බානගොඩ, කෙම්පනාත්තේ පදිංචි උදේනි මාලා රෝෂණී (42), ඒ.ජී.ලලන්ත (44) යන අඹුසැමි යුවළ සමග ඩබ්.ඒ. විජේනායක (23) සහ ඩබි.ඒ. සමන් කුමාර (44) යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
බලංගොඩ වලේබොඩ පදිංචිව සිටි. රුවන් කුමාර (28) යන තරුණයා 2018 පෙබරවාරී (08දා) හෝ ඊට ආසන්න දිනයකදී ලෙල්ලොපිටිය, බානගාඩ, කෙම්පනාවත්තේදී පහරදී ඝාතනය කර හෙට්ටිකන්දේ කඵවර කැලේ රක්‍ෂිතයේ වළ දැමුවේ

යැයි සැකපිට ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පසුගිය වසරේ පෙබරවාරි මස (08දා)  හෝ ආසන්න දිනයක රාත්‍රියේ රුවන් කුමාර කෙම්පනාවත්තේ පිහිටි තමන්ගේ පෙම්වතියගේ නිවසට පැමිණි අවස්ථාවේ පෙම්වතියගේ පියා සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

මවගේ දැනුම්දීමක් මත යාබද නිවසක සාදයකට එක්ව සිටි පිරිසක් මෙම ගැටුම සමථයකට පත් කිරීමට පැමිණි අවස්ථාවේ ඇතිවූ සිද්ධියකින් පසු රුවන් කුමාරට පහරදී ඇති බවද විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

පසුව රුවන් කුමාර මියගොස් ඇති අතර ඉන් පසු සිරුර
පාර අද්දර අලුතින් තනාගෙන යන වැඩ අවසන් නොවූ නිවසකදා සගවා තබා රාත්‍රියේ ත්‍රිරෝද රථයක පටවාගෙන ගෝස් හෙට්ටිකන්ද ප්‍රදේශයේ පිහිටි කළුවරකැලේ නම් රක්ෂිතයේ වළක් කපා යටකර ඇති බවද අධිකරණයට දන්වා තිබුණි.

සැකකරුවන්ට එරෙහිව විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන්ට ඇප නොදෙන ලෙසත්, ඔවුන් දින දාහතරක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් මේ මස (17දා) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.
රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය පැමිණිල්ල මෙහෙයවීය.

අජිත්ලාල් ශාන්තඋදය /පැල්මඩුල්ල ඒ.ශාන්ත