https://www.gossiplankanews.com/2019/09/wadduwa-father-story.html
ම  මියගිය පුතා සිහි කොට ඔහු මියයන්නට පෙර කළ ඉල්ලීමක් වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කර
වාද්දුව තල්පිටිය දළදා පූජෝත්සවය වෙනුවෙන් වර්ණ වීදුරු බෝල (ටීක් බෝල) පන්ලක්‍ෂ අසූහය දහසකට
ආසන්න ප්‍රමාණයකින් නිර්මිත තොරණක් ඉදිකළ පියකු  ගැන
වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
වාද්දුව පල්ලියමංකඩ පදිංචි කුමාර පෙරේරා වෘත්තියෙන් සුළු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පුතු සචින්
මධුවන්ත කුමාර පෙරේරා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටියදී
මීට මාස දහයකට පමණ ඉහතදී මියයන්නේ හදිසි අනතුරකිනි.


වාද්දුව, තල්පිටිය දළදා වත්ත පුරාණ මහ විහාරස්ථ වාර්ෂික පෙරහර පූජෝත්සවය නිමිත්තෙන් එම පිය -
පුතු දෙපළ මූලික වී ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් වාද්දුව පල්ලියමංකඩ ගාලු පාරේ සුවිසල් තොරණක් වසර
ගණනාවක සිට ඉදිකළහ. ඊට ඔවුන්ගේ මිතුරෝද සහාය වූහ.

2018 වසරේ 85 වැනි දළදා පූජෝත්සවය වෙනුවෙන් තම පුතු හා එක්ව තොරණ ඉදිකළේ අවසන් වතාවට
යැයි කුමාර පෙරේරා පියා සිහිනෙකුදු හෝ නොසිතන්නට ඇත. “තාත්තේ අපි ඊළඟ වතාවේ ටීක් බෝලවලින්
තොරණ හදමු” පුතා කී ඉල්ලීම පියාද එක හෙළාම අනුමත කර ඇත.

එහෙත් ඉන් මාස කිහිපයකට පසු සිය පුතු හදිසි අනතුරකින් මෙලොව හැර ගියෙන් කුමාර මහතා එදින පටන්
පසුවන්නේ දැඩි ශෝකයෙනි. කෙසේ හෝ සිය පුතුගේ ඉල්ලීම මෙවර තොරණට එක්කරන අරමුණින් ඔහු ටීක් බෝල
පන්ලක්‍ෂ අසූ දහසක පමණ එකතුකොට තොරණ ඉදි කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට ගම් කිලෝ
හාරසිය පනහක් පමණ වැය විය. කුඩා කළුගල් විශාල ප්‍රමාණයක් සහ තවත් බොහෝ අමුද්‍රව්‍ය වැයවී
ඇත. තම පුතු වෙනුවෙන් කළ මේ කටයුත්ත වෙනුවෙන් වැය වූ මුදල ප්‍රකාශ කිරීම ඔහු තරයේ
ප්‍රතික්‍ෂේප කළද එම විස්මිත නිර්මාණය සඳහා රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න මුදලක් වැය වන්නට ඇති
බව අපට දැනගත හැකිවිය.

කුමාර පෙරේරා මහතා මෙසේ කීය.

“පසුගිය අවුරුදු කිහිපයේම මමයි පුතයි තමයි මේ තොරණ නිර්මාණය කළේ. ඊට අපේ හිත මිතුරන්ද සහාය
දක්වනවා. ගිය අවුරුද්දේ තොරණ හදනකොට පුතා කිව්වා ඊළඟ පාර ටීක් බෝලවලින් තොරණ හදමු කියලා.
පුතා අද නැහැ. ඒත් මම එයාගේ බලාපොරොත්තුවයි මේ ඉටු කළේ. ටීක් බෝල පන්ලක්‍ෂ අසූ දහසක්
විතර මෙතැන තියෙනවා. පුතා අද නැතත් මේවා දැකලා සතුටු වෙනවා ඇති. එයාට උතුම් නිවන් සුව
ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම විශාල කටයුත්තට උදවු උපකාර කළ චන්දරතන හාමුදුරුවන්, ගයාන්
පියතුමන් ඇතුළු සියලුදෙනාම මේ මොහොතේ සිහිපත් කරනවා” යැයි පැවැසීය.

වාද්දුව - ජනක හෙට්ටිආරච්චි