මෙරට කඳු බැසීමේ ශූරයකු වන කොස්ගොඩ නිලන්ත (38) ඊයේ (9) උදෑසන 9යි විනාඩි 9ට කඹයකින් රිවස්ටන් ලෝකාන්තය බැස්සේය. වසර 13කට පසු හෙතෙම මෙම දක්ෂතාව විදහා පෑ අතර ඊට තත්පර 57ක් ගතවීය.

ඔහු කඳු බැසීමේ ක්‍රීඩාවට අවතීර්ණ වූයේ 2012න් පසුව වන අතර වසර හතක දිගු නිහැඩියාවකින් පසු මෙය සිදුවීම විශේෂත්වයකි.හෙතෙම 1999 දි නුවරඑළිය ලෝකාන්තය තරනයකොට වාර්තාවක් තබා එයට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් 'එකම ධජයක් එකම රටක්' තේමාව යටතේ
මේ වසරේ නවවැනි මාසයේ නවවැනිදා විනාඩි නවයයි තත්පර නවයක් ගිය තැනදි මෙලෙස පුංචි ලෝකාන්තය බැසීමට පටන් ගත්තේය.

මෙරට කඳු පහක් බැස වාර්තා පිට  වාර්තා තැබූ 'කොස්ගොඩ නිලන්ත’
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් කඳු බැසීමේ ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති අතර පාසල් වියේදි ආරම්භ කළ මෙම ක්‍රීඩාව තවත් වසර විස්සක් පමණ ඉදිරියට කරගෙන යන බව ද පැවැසීය.

එදා භද්‍ර යෞවනයකුව සිටියදී මෙරට  ප්‍රධාන කඳු බැස වාර්තා තැබූ තමාට එදාට වඩා හොඳින් කඳු බැසීමේ හැකියාව මේ කන්ද බැසීමෙන් ලැබුණු බව ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු  පැවැසීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලන්ත මෙසේ ද කීවේය. "

ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට තවමත් කඳු බසින්න පුළුවන් කියලා දැනුනාම පුදුම සතුටක් දැනෙනවා. මම අවුරුදු 60 වනතුරුම කඳු බසින්න හිතාගත්තා. මෙරට කඳු පමණක් නොවේ මට අනුග්‍රාහකත්වය දෙනවා නම් පිටරට කඳුත් බහිනවා. එසේ කරලා මේ රටට කීර්තියක් අත්කර දෙනවා.  "එකම ධජයක් - එකම රටක් මගේ ලක් මාතාවට ජය අත්වේවායි කියා ප්‍රාර්ථනා කරමිනුයි මම මෙය බැස්සේ".

-එම්.සුසිල් ප්‍රියන්ත-