මාතර සිට මත්තල දක්වා ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව හා අන්දරවැව කොටසේ 13 වැනිදා රාත්‍රී 8.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි සූරියවැව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ තංගල්ල නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන 31 හැවිරිදි නිමන්ත ප්‍රනාන්දු නමැත්තෙකි. ඔහු හුංගම, පාතගල බොලටියාවේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ දෙදෙනා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මාතර මත්තල මාර්ගයේ ඉදිකිරීම් තවමත් අවසන් වී නැතත්
මෙම මාර්ගය ඔස්සේ අනවසරයෙන් වාහන ගමන් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

මාර්ගයේ ඇතැම් ස්ථානවල කොන්ක්‍රීට් කුටි යොදා මාර්ගය වසා දමා ඇති අතර මෝටර් රථය අනතුරට පත් වී ඇත්තේ මාර්ගය මැද දමා තිබූ කොන්ක්‍රීට් කුට්ටි  කීපයක ගැටිමෙනි. අනතුරින් මෝටර් රථයට ද දැඩි හානි සිදු වී ඇත.  පසුගිය දිනක ත්‍රීරෝද රථයක් ද මෙම මාර්ගයේ අධිවේගයෙන් ධාවනය වෙමීන් තිබිය දී ගිනිගෙන විනාශයට පත් විය. මෙම අනතුර වූ ස්ථානයේ ද අවස්ථා කිහිපයකදී වාහන අනතුරු සිදු ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති..

අධිවේගී මාර්ගයේ නිල වශයෙන් විවෘත කරන තුරු මාර්ගයට වාහන ඇතුලු නොකරන ලෙස දැනුම් දෙන පුවරු ප්‍රදර්ශනය කර තිබුණ ද මුරකරුවන් යොදවා නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේ මෙම මාර්ගයේ අනවසරයෙන් වාහන ධාවනය කෙරෙන බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-සනත් ගමගේ-