ගැබිනි කාන්තාවක් හා ඇයගේ ස්වාමිපුරුෂයා ගමන් ගත් මෝටර් රථයක් පෙරේදා (15) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් අටයි දශම අට දියකඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් දෙදෙනාම තුවාල ලබා
රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගි රථවාහන පොලිසිය කියයි.  ඔවුන් දෙදෙනා මාතර ප්‍රදේශයේ දින පහක සංචාරයක් නිමාකර යළි කොළඹ ප්‍රදේශයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් වම්පස ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරුව යළි මාර්ගය මැදට පිවිසි ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟ මාතර සිට කඩවත දක්වා යන සුඛෝපභෝගි බස් රථය මෝටර් රථයේ වම්පස බඳෙහි ගැටී ඇති අතර මෝටර් රථය නැවත වතාවක් ආරක්ෂිත වැටහි ගැටී ඇතැයි පොලිසිය කියයි. තුවාල ලද අඹුසැමි යුවළගෙන් ගැබිනි කාන්තාවගේ තත්වය බරපතළ බව හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔවුන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කර මද වෙලාවක් ගත වෙද්දී ඔවුන්ගේ ඥාතීන් පැමිණ කොළඹ පෞද්ගලික රෝහලක ගිලන් රථයකින් ඔවුන් එම රෝහල කරා රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. අඹුසැමියන් දෙදෙනා වයස 32 සහ 27 පසුවන්නන් බව පොලිසිය කියයි.  අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබිණි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-