එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කර ගැනීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 106 දෙනා අතරේ රහස් ඡන්දයක් පවත්වා බහුතර කැමැත්ත විමසිය යුතු බව ජාතික හෙළ උරුමය මහලේකම්,
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (16දා) පැවසීය.

ප්‍රජාතන්ත්‍රීවාදී කඳවුර අර්බුද ඇති වූ අවස්ථාවලදී ආණ්ඩුව රැකගැනීම සඳහා ඉදිරිපත් වූ මෙම මන්ත්‍රීවරුන් පිරිසට ජනාධිපති ධුර අපේක්‍ෂකයා තෝරාගැනීම සඳහා ප්‍රථම අයිතිය තිබෙන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කාලය නාස්ති නොකර වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් සුදුසු ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගත යුතු බවත්, මෙය රටේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරීපත්වන අපේක්‍ෂකයාට එ.ජා.ප. පෙරමුණේ සියලු දෙනාගේ සහය හිමිවිය යුතු බවත්, කපාදැමීමේ හා කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් විය යුතු බවත් පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මහතා,
"කාගේත් සම්මුතියෙන් පත්කර ගන්නා අපේෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයක් පිහිටුවීම සඳහා අගෝස්තු 05 වැනිදා අපි ගත් උත්සාහයට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සන්ධානයේ ව්‍යවස්ථාවට යම් යම් ගැටලු මතුකිරීම නිසා ප්‍රශ්නයක් ආවා. ඒ ව්‍යවස්ථාවේ ප්‍රශ්න සියල්ල විසඳාගෙන පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයකට අවශ්‍ය කරන ව්‍යවස්ථාව සහ සන්ධානයේ පක්‍ෂ හවුල්කරුවන් පිළිබඳ සාකච්ඡා කරලා අගෝස්තු 24 වැනිදා තීරණයකට එළඹෙන අපට පුළුවන් වුණා.

ඒ අවස්ථාවේදීම තීරණය කළා අගෝස්තු මාසය අග වනවිට අපේක්‍ෂකයා පිළිබඳ කාරණය අවසන් කරන්න, නමුත් තවමත් ඒ කාරණය සිදුවෙලා නැහැ. තමන්ගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද කියලා සන්ධානයේ පක්‍ෂවලට දැනුම් දෙන ලෙසත්,  එම පක්‍ෂවල නායකත්ව මණ්ඩලය විසින් එය අනුමත කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන බව සන්ධානයේ පක්ෂ අගෝස්තු 24 එක්සත් ජාතික පක්‍ෂයට දැනුම් දුන්නා. අද වෙනකම් ඒ පිළිබඳ නිශ්චිත නමක් අප වෙත යෝජනා කර නැහැ.

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේත් නම් ජනතාවගෙ පැත්තෙන් යෝජනා කර තිබෙනවා. පසුගිය සාකච්ඡාවලදී අපටත් යම් යම් අවස්ථාවල මේ නම් ගැන යෝජනා ඉදිරිපත් වුණා. මේ දෙන්නගෙන් කවුද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ, කවුද සුදුස්සා ලෙස තෝරාගන්නේ පිළිබඳ වාද විවාද සමාජයේ තිබෙනවා. ප්‍රතිපත්තිමය හා මූලධර්ම කරුණු ගණනාවක් අපි දැනටමත් සන්ධානයේ ව්‍යවස්ථාවට ඇතුළු කර තිබෙනවා. ඒ සඳහා සන්ධානයේ ව්‍යවස්ථාව තුළත් මූලික එකගතාවක් තිබෙනවා.

අපේක්‍ෂකයා තෝරගන්න එක්සත් ජාතික පක්ෂය සැලකිය යුතු කාලයක් දැන් යොදාගත තිබෙනවා. දැන් ඒක කරගන්නේ කොහොමද කියලා නොයෙක් නොයෙක් මත අදහස් පැමිණ, ප්‍රසිද්ධ වේදිකාවේ කතාවෙමින් තිබෙනවා.

පුළුල් සන්ධානයකින් තරග කරන්න යන නිසා, එක්සත් ජාතික පක්‍ෂයට තවම නමක් යෝජනා කර ගත නොහැකි වී තිබෙන නිසා දැනට රජය නියෝජනය කරන්න පාර්ලිමේන්තු කණ්ඩායමේ 106 දෙනා වහාම කැඳවා ඔවුන්ගේ බහුතර කැමැත්ත සහිත අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව අපි යෝජනා කරනවා.

මේ  106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. ඉතිරි පිරිස එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂලට අයිතියි. අරයද මෙයාද, ජනමත සමීක්‍ෂණද නැද්ද ආදී වශයෙන් කතා කර කර කාලය නාස්ති කරන් ඉඳලා වැඩක් නැහැ. අපි වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් පර්ලිමේන්තුවේ 106 දෙනා අතරින් සුදුසු ස්නාධිපති අපේක්‍ෂකයා පත් කරගත යුතුයි. ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. මෙම 106 දෙනාම ඇවිත් තිබෙන්නේ කවර හෝ ජන වරමකින්.

ඒ අය පසුගිය කාලවකවානුව පුරා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට අර්බුද ඇති වූ විට ආණ්ඩුව රැකගන්න කටයුතු කළා. ඒ පිරිසට තමයි ප්‍රථම අයිතිය තිබුනේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තෝරන්න. මේක රටේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක්. පුද්ගලයෝ උඩින් පාත් කරනවා කියනවා, පැරෂුටිකාරයා කියනවා ඒක ප්‍රශ්ණයක් නැ. දැත් මේ දෙපොළටම පුළුවන් 106 දෙනා ඉදිරියට ගිහින් සුදුසු අපේක්ෂකයා කවුද කියලා තෝරගන්න. 106 දෙනාගෙන් රහස් ඡන්දයන් ගන්නා අපේක්‍ෂකයා පරාජීත කණ්ඩායමට හිරිහැර කරන්න, කපලා දාන්න උත්සාහ නොකළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.